ශත්රුගන් සිංහ ගේ පසුතැවිල්ල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශත්රුගන් සිංහ සහ මිය ගිය සුපිරි නළු රාජේෂ් අතර අමනාපයක් තිබූ බැව් දන්නේ ටික දෙනෙකි. මේ හබය ඇති වූයේ 1992 නව දිල්ලි අතුරු මැතිවරණයේදී ශත්රුගන්, රාජේෂ්ට විරුද්ධව තරඟ කිරීම  නිසාය. රාජේෂ් තරඟ කළේ කොන්ග්‍රස් පක්ෂයෙනි. ශත්රුගන් භාරතීය ජනතා පක්ෂයෙන් තරඟ කළේය. මෙම මැතිවරණයේදී රාජේෂ් වැඩි ඡන්ද 28000කින්  ජය ගත් අතර 1996 දක්වාම සිය අසුන රැක ගත්තේය. එහෙත් ඔවුන් දෙදෙනා අතර ඇති වු විරසකය නම් කලක් පැවතිණි. 
“මම ඔහුට විරුද්ධව තරඟ කිරීම ගැන රාජේෂ් හුඟක් කැළඹුණා.. අවංකවම කියනවා නම් මට ඉන්දියාවේ හිටපු උප අගමැති එල්. කේ  අද්වානි ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න බැරි වුණා.. මම ඒ හින්දයි මැතිවරණයට ඉදිරිපත් වුණේ.. ඒක රාජේෂ්ට තේරුම් කරලා දෙන්න මම කොච්චර උත්සාහ කළත් ඔහු ඒක පිළි ගත්තෙ නෑ.. අපි දෙන්නා සෑහෙන කාලයක් අමනාප වෙලා හිටියා.. පස්සෙ තමයි කතා කළේ.. ඔහු රෝහලේ ඉන්නකොට මට ගිහින් සමාව ඉල්ලන්න ඕනකම තිබ්බා.. ඒත් ඊට ඉස්සර වෙලා ඔහු මිය ගියා.. මට ඒ ගැන තියෙන්නෙ කණගාටුවක්..”
පසු ගියදා ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් ශත්රුගන්  සිංහ පැවසුවේය. වකුගඩු ආබාධයකින් පීඩා විඳිමින් සිටි රාජේෂ් මිය ගියේ 2012 වසරේදීය. 
මේ අතර රාජේෂ්ගේ පුතා ලුව් සිංහ බිහාර් ප්‍රාන්ත මැතිවරණයට කොන්ග්‍රස් පක්ෂයෙන් තරඟ කිරීම විශේෂත්වයක් විණි. එහෙත් ඔහු භාරතීය ජනතා පක්ෂ අපේක්ෂකයාට පරාජය වූයේය.  සාදියාන් චිත්‍රපටියෙන් රඟ පෑම ඇරඹු ලුව් සිංහ අවසානයට රඟ පෑවේ පල්තාන් නම් යුද චිත්‍රපටියේය.  
සිය දෙමව්පියන් වන ශත්රුගන් සිංහ සහ පූනාම්, සහෝදරයා ලුව් සිංහ ලෙසින්ම ජනප්‍රිය නිළි සෝනාක්ෂි සිංහ ද දේශපාලන ලෝකයට ඇතුළත් වෙනු ඇතැයි රාවයක් පසු ගිය කාලයේ පැවතිණි. ඇය කීවේ තමන්ගේ එවන් අදහසක් නොමැති බවය. එහෙත් සිය සොහොයුරා දේශපාලන  ලෝකයට ඇතුළත් වීම පිළිබඳව ඇය තුළ ඇත්තේ සතුටකි. 
“තරුණ ජනතාව දේශපාලනයට වැඩියෙන් ඇතුළත් වෙන්න ඕන.. ලුව් පරාද වුණා තමයි.. ඒත් ඔහු බිහාර් ප්‍රාන්ත ජනතාවත් එක්ක කටයුතු කරපු ආකාරය ගැන මම හුඟාක් ආඩම්බර වෙනවා ..”
සෝනාක්ෂි පැවසුවාය. 
ඇය අවසානයට රඟ පෑවේ සල්මන් ඛාන් සමඟ ඩබාන්ග් 3 චිත්‍රපටියේය. 

20210309Singhe-1 20210309Singhe-2 20210309Singhe-3