වෙනසක් පතන ෆරීඩා ජලාල්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20201115Farida (1)ෆරීඩා ජලාල් යනු හින්දි සිනමාවේ බුහුමන් ලබන නිළියකි.  ඇගේ මිහිරි ස්වරය, සුන්දර පෞරුෂත්වය නිසාම ඇයට නිරන්තරයෙන් රඟ පාන්නට ලැබෙන්නේ මිත්තණියගේ, අම්මාගේ හෝ සහෝදරියගේ චරිත පමණකි. 
“අවුරුදු පනහකටත් වැඩි කාලයක් ක්ෂේත්‍රයේ ඉඳලත් මගේ දක්ෂතා තවමත් ඉස්මතු කරගෙන නෑ කියලයි මට හිතෙන්නෙ.. මම චරිතවලට කොටු වෙලා.. මේකෙන් සමු ගන්න ඉස්සර වෙලා වෙනස් වෙනස් චරිත කීපයක් රඟ පාන්න ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා..” මේ 71 හැවිරිදි නිළිය පවසන්නීය. 
1949 මාර්තු 14 දා නවදිල්ලියේ උපත ලැබූ ෆරීඩා ඉස්ලාම් ආගමික කාන්තාවකි. කුඩා කල සිටම ඇය සිනමාව කෙරෙහි ඇල්මක් දැක්වූවාය. ෆිල්ම් ෆෙයාර් සඟරාවෙන් සංවිධානය කරනු ලැබූ යොවුන් රංගන දක්ෂතා තරඟයකට සහභාගි වූ ඇය ඉන් ජයග්‍රහණය කළාය. එහි පිරිමි අංශයේ ජයග්‍රහණය හිමි වූයේ රාජේෂ් ඛන්නාටය.  
ඇය සිනමා ක්ෂේත්‍රයට එක් වූයේ 1967 දී තක්දීර් චිත්‍රපටියේ රඟපාමිනි. ආරාධනා, ගෝපි, දේවි, බොබී, ජීවන්රේඛා, පායාල්, දිල් ආශ්නා හෑ, අන්ගාරා, ජුදායි, කහෝනා ප්‍යාර් හෑ, දිල්වාලේ දුල්හානියා ලේ ජායෙංගේ, රාජා හින්දුස්තානි, දිල් තෝ පාගල් හෑ, කුච් කුච්හෝතා හෑ, කභි ඛුෂි කභි ඝම්, බරාසාත්  ඇතුළු චිත්‍රපටි දෙසීයකට අධික ප්‍රමාණයක රඟ පෑ ඇය අවසානයට දකින්නට ලැබුණේ ජාවානි ජානේමන් චිත්‍රපටියේය. මේ කිසිම චිත්‍රපටියක ඇයට ප්‍රධාන චරිතය ලැබී තිබුණේ නැත. ආරාධනා චිත්‍රපටියේ රාජේෂ් ඛන්නා සමඟ  රඟ පෑ චරිතය කිසිම දිනෙක අමතක වන්නේ නැතැයි ඇය කියන්නීය. 
තෙළිඟු, දෙමළ චිත්‍රපටිවල පමණක් නොව රූපවාහිනී මාලා නාටක රැසක ද ඇය චරිත නිරූපණය කර ඇති අතර සම්මාන කිහිපයක් ද හිමි කරගෙන තිබේ. 
ෆරීඩා විවාහ වූයේ ජීවන්රේඛා චිත්‍රපටියේ රඟපාන සමයේදී හමු වූ ව්‍යාපාරිකයෙකු වූ තබ්රේස් බර්මාවර් සමඟ 1978 දීය. විවාහයෙන් පසු බැංග්ලෝර්හි වාසය කළ සමයේ ඇයට  චිත්‍රපටි නොලැබුණ බැවින් ඔවුහු නැවතත් දිල්ලියේ පදිංචියට පැමිණියහ. 2003 දී ඔහු මිය ගියේය. ඔවුන් දෙදෙනාගේ පුතු යසීන් සිනමා ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන බැව් ෆරීඩා කියන්නීය. 

චන්දි කොඩිකාර

 20201115Farida (3) 20201115Farida (2)