වසර දෙකකට පසු නැවතත් එන හොලිවුඩ් නිළිය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20181105Morin-3දමිළ සිනමාවේ සුප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු වන ධනුෂ් පිළිබඳ පසුගිය කාලයේ කතාබහට ලක්වූයේ ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපටයක් හේතුවෙනි. එම චිත්‍රපටය ආදායම් වාර්තා අතරට නොපැමිණියද දමිළ සිනමාව තුළ ඔහු පිළිබඳ කතාබහක් ඇති විය. ඒ ඔහුගේ හොලිවුඩ් සිනමාවේ ආගමනය හේතුවෙනි.

ඔහුගේ චිත්‍රපට ජීවිතයේ හොලිවුඩ් සිනමාවට දායක වන පළමු අවස්ථාව වූ මෙය නිසාවෙන් ඒ පිළිබඳව බොහෝ දෙනෙකුගේ පැසසුම් හිමිවිය. මෙම චිත්‍රපටයේ නම ‘The Extraordinary Journey of the Fakir’ යන්නයි. මෙම හොලිවුඩ් චිත්‍රපටය භාෂා දෙකකින් නිර්මාණය විය. ඒ ඉංග්‍රීසි භාෂාවෙන් සහ ප්‍රංශ භාෂාවෙනි. භාෂා දෙකකින් නිර්මාණය වූ මෙම චිත්‍රපටය සඳහා ඇ.ඩො. මිලියන 20ක පිරිවැයක් දරා තිබූ අතර, ආදායම ඇ.ඩො. මිලියන 16කි.

මෙම චිත්‍රපටයේ ධනුෂ් සමග රංගනයෙන් දායක වූ ප්‍රධාන නිළියක වන්නේ හොලිවුඩ් නිළි එරින් මොරියාටිය. ඇය හොලිවුඩ් සිනමාවේ කැපී පෙනෙන රංගන ශිල්පිනියෙකි. ඇය රංගනයෙන් දායක වන තවත් චිත්‍රපටයක් මෙම වසරේ එළිදැක්වීමට නියමිතව තිබේ. ඒ ‘Driven 2018’ නම් චිත්‍රපටයයි. 2001 වසරේදී ‘Driven’ නමින්ද චිත්‍රපටයක් එළිදක්වා තිබේ. ‘Driven 2018’ මෙම වසරේදී එළිදැක්වීමට නියමිතව තිබුණද නියමිත දිනයක් පිළිබඳව සඳහන් වන්නේ නැත. මේ කාරණාව සම්බන්ධයෙන් එහි ප්‍රධාන නිළිය වන එරින් මොරියාටි සමාජ මාධ්‍ය මගින් අදහස් දක්වා තිබුණේ ළඟදීම ඇය නැවත සිනමාව ඔස්සේ දැක ගැනීමට හැකියාව ඇති බවට පවසමිනි.

24 වැනි වියේ පසුවන ඇය මේ වනවිට හොලිවුඩ් සිනමාවේ කැපී පෙනෙන රංගන ශිල්පිනියක ලෙස හඳුන්වයි. 2010 වර්ෂයේදී වෘත්තීයට එළැඹුනු ඇය වෙළෙඳ දැන්වීම් සහ විලාසිතා නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට පිවිසියද, ඇය පිළිබඳව බොහෝ දෙනා දැන හැඳිනගනු ලැබුවේ නිරූපිකාවක් ලෙසයි. අධ්‍යාපනය ඔස්සේ ඉහළ මට්ටමට පැමිණි ඇය උපාධිධාරිණියකි. අධ්‍යාපනයෙන් ඉහළට පැමිණියද ඇයගේ ආශාව වූයේ, රංගන ශිල්පිණියක් වීමටයි. 2010 වර්ෂශයේදී විකාශය වූ ‘One Life to Live’ නම් රූපවාහිනී කතාමාලාව ඔස්සේ රංගන දිවියට ඇය එළැඹුනු අතර, එහිදී ඇයට කතාංග 06ක් සඳහා අතුරු චරිතයකට දායක වීමට අවස්ථාව හිමිවිය.

2010 වර්ෂයේදී ‘Law  Order: Special Victims Unit’ නම් රූපවාහිනී කතාමාලාව සඳහා ආරාධනාවක් හිමිවූ ඇය එහිදී ප්‍රධාන චරිතයක් සඳහා අවස්ථාව උදාකර ගත්තාය. අනතුරුව ඇය 2012 වර්ෂයේදී  තිරගත වූ ‘The Watch’ නම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණපොවනු ලැබීය. නමුත් එය එතරම් ආදායම් අතින් පෝෂණය නොවූ චිත්‍රපටයක් ලෙසද නම් කර තිබේ.

2013 වර්ෂයේදී ඇයට නැවතත් රූපවාහිනී කතාමාලාවක් සඳහා වරම් හිමි විය. ඒ ‘Red Widow’ නම් රූපවාහිනි කතාමාලාව සඳහාය. එහිදී ඇය කතාංග 08ක් සඳහා දායක වී එයින් ඉවත් විය. එයට හේතු වූයේ එම වර්ෂයේදී ඇයට ‘The Kings of Summer’ නම් චිත්‍රපටය සඳහා ආරාධනා ලැබීමයි.

20181105Morin-1

නැවත 2014 වර්ෂයේදී ඇයට ‘After the Dark’ චිත්‍රපටයේ රංගනයේ යෙදීමේ වරම් හිමිවිය. 2014 වර්ෂයේදී ‘True Detective’ නම් රූපවාහිනී කතාමාලාව සඳහාද ඇය රංගනයෙන් දායක වූ අතර, 2016 වර්ෂයේදී ඇයට චිත්‍රපට 03ක් සඳහා අවස්ථාව හිමිවිය.

2016 ජූලි මාසයේ තිරගතවූ ‘Captain Fantastic’  චිත්‍රපටය සහ 2016 ඔක්තෝම්බර් මාසයේ තිරගත වූ Blood Father යන චිත්‍රපට දෙක ඇය රඟපෑ චිත්‍රපට අතරින් ආදායම් වාර්තා අතරට පැමිණි චිත්‍රපට දෙකකි.

2016 වසරෙන් පසුව ඇය නැවත සිනමාවට පිවිසියේ මේ වසරේදීය. ඒ  ‘The Miracle Season’ නම් චිත්‍රපටය ඔස්සේය. මාර්තු මාසයේ තිරගත වූ මෙම චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා අතරට පැමිණි චිත්‍රපටයක් විය. ඉන්පසු ඇය ‘The Extraordinary Journey of the Fakir’ චිත්‍රපටය සඳහා ධනුෂ් සමග රංගනයෙන් දායක වූ අතර, ඇයගේ තවත් චිත්‍රපටයක්ද එළිදැක්වීමට නියමිතව තිබේ. 2019 වසරේදී ඇය රංගනයෙන් දායක වූ රූපවාහිනී කතාමාලාවක් එළිදැක්වීමට නියමිතව ඇත. ඒ ‘The Boys’ නම් කතාමාලවයි. එහි ප්‍රධාන චරිතයට ඇය රංගනයෙන් දායක වේ. එම කතා මාලාවේ නිෂ්පාදන කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. සාර්ථක රංගන ශිල්පීන් අතරේ රැඳී සිටින නිළියක් ලෙසද ඇයව හොලිවුඩ් සිනමාව තුළ හඳුන්වනු ලබයි.

20181105Morin-2