ලතාගේ කතා...



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-05-12-ent-89

ඉන්දියාවේ ගීත කෝකිලාව ලෙසින් විරුදාවලි ලැබූ ලතා මංගේෂ්කාර් දැන් 87 වැනි විය පසුකර සිටින්නීය. ඉන්දියාවේ පුරවැසියකුට ලද හැකි ඉහළම සම්මානය වන භාරත් රත්න සම්මානයෙන්ද ඇය පිදුම් ලැබුවාය. හොඳ සනීපයෙන් සිටින්නේ වී නමුදු මේ වනවිට ඇය චිත‍්‍රපට පසුබිම් ගායනයෙන් මුළුමනින්ම ඉවත්වී සිටින්නීය.

‘මම අදටත් ගීත ගායනා කරනවා. ඒත් චිත‍්‍රපටිවලට ගීත ගායනා කිරීම මම නතර කළා. අද කාලෙ බොලිවුඞ් සංගීතය මගේ ගායනයට ගැලපෙන්නේ නෑ. මිනිස්සු ඒකට කැමති හින්දා ඒ ගැන යමක් කියන්න හරි විවේචනය කරන්න හරි මම කැමති නෑ. මම ඒ සංගීතය ගැන සෑහීමකට පත්වෙන්නෙ නෑ කියලා විතරයි මට කියන්න පුළුවන්’. ඇය කියන්නේ දරුවෙකුගේ බඳු සිනාවකින් යුතුවය.

ලතා මංගේෂ්කාර්ගේ ජීවිතයම කැපවී ඇත්තේ ගායනයටය. ඇගේ මව් භාෂාව මරාතිය. එම භාෂාවෙන් හැරුණු විට ඇය වැඩිපුරම ගීත ගායනා කර ඇත්තේ හින්දි බසිනි. ඇය බෙංගාලි බසින් ගායනා කළ ගීතද රැුසක්ම තිබේ.

‘මම ඉන්දියාවේ තියෙන විවිධ භාෂාවලින් ගීත ගායනා කරල තියෙනවා. ඇත්තටම ගායනා කරන ගීතයට සාධාරණයක් ඉෂ්ට වෙන්න නම් භාෂාව ගැන අධ්‍යයනය කරන එක හුඟාක් වැදගත්. මම උර්දු ඉගෙන ගත්තෙත් ඒ ගැන හිතලයි. චිත‍්‍රපටියක පසුබිමේ අපි ගීතය ගායනා කළාට රංගනය ඉදිරිපත් කළාට රංගනය ඉදිරිපත් කරන්නේ අපි නෙමෙයිනෙ. අපි භාෂාව හරියට නොදැන සිටියොත් රංගනයයි, ගායනයයි, එකිනෙක සමපාත වෙන්නෙ නෑ. එහෙම වුණාම ඒ රඟපෑම පේ‍්‍රක්ෂකයාට වෙහෙසක්’. ඇය කියන්නීය.

ඇයට සිටින්නේ සහෝදරියන් තිදෙනකු හා එක සහෝදරයෙකි. ගීත ගායනා කරන ලෙස ඉල්ලා පවුලේ ඥාතීන් හෝ හිත මිතුරන් ඇයට කරදර කරන්නේ නැත.

‘ආශා, හ්රිදයානාත්, ඌෂා, මීනා මේ හැමෝම ගායක ගායිකාවොනෙ. ඒ හින්දා මට සින්දු කියන්න කියලා බල කරන කෙනෙක් නෑ’. ඇය සිනාසෙමින් කියන්නීය.

ඇගේ පියා පණ්ඩිත් දිනනාත් මංගේෂ්කාර්. දිවංගත වී මේ වසරට වසර 75ක් පිරෙන්නේය. තාත්තා මිය යද්දී ලතාගේ වයස අවුරුදු 12කි. එහෙත් තාත්තා විසින් ජීවිතයට එකතු කරන ලද වටිනාකම්, ඔහුගේ ප‍්‍රතිපත්ති කිසිම දිනයෙක අමතක නොවන බව මේ සම්මානනීය ගායිකාව කියන්නීය. ලතා විසින් කිශෝර් කුමාර්, මුකේෂ්, මොහොමඞ් රාෆි වැනි ගායන ලොවේ දැවැන්තයන් සමඟ ගයන ලද යුග ගීත අදටත් ඒ ආකාරයටම ජනප‍්‍රිය බව ගීත ලෝලියෝ දනිති. ඇය කියන්නේ හැම ගායකයකු සමගම යුග ගී කියන්නට අකමැත්තක් නොතිබුණත් වඩාත් ප‍්‍රිය කළේ කිශෝර් කුමාර්ට බවය. මෑත යුගයේ ගායක ගායිකාවන් අතරින් ඇය සෝනු නිගම්, ජාවෙඞ් අලි, ෂාන්, කේකේ, ශන්කර් මහාදේවන්, ශ්‍රෙයා ගෝපාල්, සුනිධි චව්හාන්, චිත‍්‍රා, අල්කා යග්නික් ආදීන්ට ප‍්‍රිය කරන්නීය.

‘මගේ ගායනා ශෛලියට හොඳටම ගැලපුණ නිළියෝ තමයි සධානා, මීනා කුමාරි, නාර්ගිස්, මධුබාලා, කාජල්... ඒ අය කිසිම වෙහෙසක් නැතුව මගේ ගීත ග‍්‍රහණය කරගෙන ඒ අනුව රඟපානවා. ජයා බච්චන් හුඟාක් විශිෂ්ටයි. ඇය මගේ ගායනා විලාසය විතරත් නොවෙයි ඉරියව් සාරිය අඳින විදිය පවා අධ්‍යයනය කළා. 1973 අභිමාන් චිත‍්‍රපටියේදී ඇය මං වගේම සුදු සාරි ඇන්දා....’

ලතා කියන්නේ ඔවුන් කෙරෙහි ඇති කර ගත් බලවත් ප‍්‍රසාදයකින් යුතුවය.

ලතා හොඳ කෝකිවරියක් බව දන්නා අය අඩුය. ඉවුම් පිහුම් කිරීම ඇගේ විනෝදාංශයයි.

‘සමහර කෑම මං හදන තරම් රසට හදන්න කාටවත් බෑ කියලා මං හොඳටම දන්නවා. ’

ඇය කියන්නේ විශ්වාසයෙන් හා ආඩම්බරයෙනි.