'රහස් ඔත්තු සේවයේ' මීළඟ ගොදුර 'සොපි කුක්සන්'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-09-20-ent-176

හොලිවුඩයේ නිර්මාණ බිහිවීම දිනෙන් දින වැඩීවීමක් මිස අඩුවීමක් නොමැත. එලෙස බිහිවන සිනමා නිර්මාණයන් පිළිබඳව අද ලෝකයේ බොහෝදෙනෙකු නෙත යොමාගෙන සිටියි. 2015 වර්ෂයේදී තිරගත වූ ආදායම් වාර්තා බිඳ හෙලූ චිත්‍රපටයක් වන ‘කින්ග්ස්මන් : ද සීක්‍රට් සර්විස්’ චිත්‍රපටයේ දෙවැන්නක් පසුගියදා (22දා) දින තිරගත වීමට නියමිතය. පළමු චිත්‍රපටය මෙන්ම මෙම චිත්‍රපටය පිළිබඳවත් බොහෝදෙනා බලාපොරොත්තුවෙන් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ‘කින්ග්ස්මන් : ද ගෝල්ඩන් සර්කල්’ ලෙස හඳුන්වනු ලබන මෙම දෙවැනි චිත්‍රපටය තුළ ප්‍රධාන චරිතවල පොඩි පොඩි වෙනස්කම් සිදුකර තිබේ. පසුගිය චිත්‍රපටය සඳහා පණ පෙවූ ප්‍රධාන නිළිය වූ සොෆියා බොයිටෙලා මෙවර මෙහි ප්‍රධාන චරිතය සඳහා පණ පොවන්නේ නැත. කෙසේනමුත් එම ප්‍රධාන චරිතය සඳහා සිනමා දිවියට නවක චරිතයක් ඔවුන් හඳුන්වා දී තිබේ. රහස් ඔත්තු සේවාවක් පිළිබඳව කතාබහ කෙරෙන මෙම චිත්‍රපටය තුළ නවීකරණය වූ ක්‍රම දක්නට ලැබුණත්, එය පැරණි වසරවල ස්වභාවයක් පෙන්නුම් කරයි. මෙම චිත්‍රපටයේ ජනප්‍රියත්වයට ප්‍රධාන හේතුව වන්නේද එයයි.

‘කින්ග්ස්මන් : ද ගෝල්ඩන් සර්කල්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවනු ලබන්නේ සොපි කුක්සන්ය. ඇය සිනමාවට නවක නිළියකි. 2013 වර්ෂයේදී ඇය රංගනය දිවියට එකතු වුවත් නිර්මාණයක් තුළින් ඉදිරියට එන්නේ 2014 වර්ෂයේදීය. ඒ ‘අන්නොවුන් හාර්ට්’ නම් චිත්‍රපටය තුළිනි. එය නිෂ්පාදනය කරනු ලැබුවේ රූපවාහිනී චිත්‍රපටයක් ලෙසයි. මේ අවස්ථාවෙන් පසුව කුක්සන්ට 2014 වර්ෂයේදී ‘කින්ග්ස්මන් : ද සීක්‍රට් සර්විස්’ චිත්‍රපටය සඳහා දායක වීමට අවස්ථාව උදාවිය. එහිදී ඇයට සුළු චරිතයක් සඳහා දායක වීමට අවස්ථාව ලැබුණු බව සඳහන් කරයි.

2016 වර්ෂයේදී කුක්සන් විශාල ආදායමක් ලැබූ ‘ද හට්ස්මන් : වින්ටර්ස් වෝර්’ චිත්‍රපටයේ රංගනය සඳහා අවස්ථාව උදා විය. එහිදී ඇය රංගනයේ යෙදුනේ හොලිවුඩ් නළු ක්‍රිස් හෙම්ස්වර්ත් සමගිනි. ඒ ආකාරයෙන් එම චිත්‍රපටයේ දෙවැනි කොටසේ ප්‍රධාන චරිතය සඳහාද රංගන වරම් ඇයට හිමි වූ බව සඳහන් වෙයි. 2017 වර්ෂයේදී කුක්සන් චිත්‍රපට දෙකක් සඳහා දායක වී තිබේ. ඒ අතරින් එක් චිත්‍රපටයක් වන ‘ද කෘකිෆික්ෂන්’ තිරගත විය. ඊට අමතරව මෙම වර්ෂයේදී ‘ගිප්සි’ නම් රූපවාහිනී කතාමාලාවට ඇය දායක විය. මේ ආකාරයෙන් කුක්සන්ගේ සිනමා දිවියේ ඇරඹුම ගෙවීගෙන යන අතර, සිනමාව තුළින් විශිෂ්ටයෙකු වීම ඇයගේ ප්‍රධාන අරමුණ බව සඳහන් කරයි.

 

Dilan Chryshantha