රසික රසිකාවියන්ට පහර දුන් බොලිවුඩ් තරු
බොලිවුඩ් තරුවලට රසික රසිකාවියන් මිලියන ගණන් ඉන්නවනේ. බොහෝ රසික රසිකාවියන් තමන් ආදරය කරන තමන් ප්‍රිය කරන තාරකාවත් එක්ක සෙල්ෆියක් ගන්න ගොඩක් ආස කරනවනේ. ඒ නිසාම කෝපයට පත්වෙන තරු ගැනත් බොලිවුඩයෙන් අහන්න ලැබෙනවා. ඔවුන් කෝපවෙලා නිකම් ඉඳලා නැහැ, තමන්ගේ රසික රසිකාවියන්ට පහරදීලත් තියෙනවා. අද මේ ලිපියෙන් කියන්න හදන්නේ ඒ වගේ සිදුවීම් කිහිපයක් ගැනයි.
සල්මාන් ඛාන්
සල්මාන් ඛාන් කිව්ව ගමන් ඔබට ඔහුව නිතතින්ම මතකයට නැගෙනවානේ. සල්මාන් ඛාන් දවසක් තමන්ගේ රසිකයෙක් එක්ක කේන්ති ගිහිල්ලා ඔහුගේ දුරකථනය වීසි කළා කියලා ඔබ දැනගෙන හිටියද?
සල්මාන් ඛාන් කේන්තිකාරයෙක් කියන එක බොලිවුඩයේ නොදන්න කෙනෙක් නැහැ. එක්වරක් සල්මාන් ඛාන් ඔහුගේ මෝටර් රථයේ වාඩිවෙලා ඉද්දී ඔහුගේ රසිකයෙක් ඡායාරූපයක් ගත්තා. ඒක දැක්ක සල්මාන් ඛාන් බොහෝ සෙයින් කෝපයට පත්වෙලා ඔහුගේ ජංගම දුරකථනය උදුරගෙන පොළොවේ ගහලා කුඩු කළා.
ප්‍රියංකා චොප්රා
ප්‍රියංකා චොප්රා කියන්නේ හැමවෙලාවෙම බොහොම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. ඒ වගේම ඇය තමන්ගේ රසික රසිකාවියන්ට බොහොම ආදරයෙන් සලකන කෙනෙක්. ඒත් දවසක් ප්‍රියංකත් ඇයගේ රසිකයෙක් එක්ක බොහෝ සෙයින් කෝප වුණා. ජය ගංගාජල් කියන සිනමාපටයේ පූර්ව ප්රචාරක පටය එළිදැක්වීමේ උළෙල දවසේ තමයි ඒ සිදුවීම වුණේ. එදා රසිකයෙක් ඇයගේ අතින් අල්ලාගෙන සෙල්ෆියක් ගන්න දෙන්න කියනවා. ඒ වෙලාවේ ප්‍රියංකා බොහෝ සෙයින් කෝපයට පත්වෙලා තියෙනවා. ඇය ඒ වෙලාවේ ඔහුට කම්මුල් පහරක් දීලා එතනින් ඉක්මනින් පිටවෙලා ගිහින්. ඊට පෙරත් ඔහු ඇයව අපහසුතාවයට පත්වෙන විදියට හැසිරිලා තියෙනවා කියලා ප්‍රියංකා කියලා තියෙනවා.
ආක්ෂය කුමාර්
උත්සවයක් අතරතුර ආරක්ෂක නිලධාරීන්ගෙන් මිදී බලහත්කාරයෙන් ආක්ෂය කුමාර් වෙත රසිකයෙක් සමීපවෙන්න උත්සාහ කරලා. ඔහුව ආරක්ෂක නිලධාරීන් නතර කිරීමට උත්සාහ කළත් ඔවුන් එක්කත් ඔහු රණ්ඩු සරුවල් කරලා. ඒක දකින ආක්ෂය කුමාර් කෝපයට පත්වුණා. ඔහු කෝපයෙන් ඔවුන් ළඟට ගිහිල්ලා ඔහුගේ රසිකයට හොඳ කම්මුල් පහරක් ගහලා.
ජෝන් ඒබ්‍රහම්
ජෝන් ඒබ්‍රහම් කියන්නේ බොහොම සැහැල්ලුවෙන් සහ ගොඩක් නිහඬ චරිතයක් තියෙන කෙනෙක් විදියටයි ප්‍රසිද්ධ. ඒත් ජෝන් එක දවසක් ඔහුගෙ රසිකාවියකට පහර දීලා. ජෝන් බැංගලෝරයේ සංචාරයක නිරතවෙන අතර ඔහු ගැන උමතුවෙන් ඉන්න රසිකාවියක් ඔහුගේ පස්සෙන් ඇවිල්ලා ජෝන්ගේ අත අල්ලගෙන තදින් හපලා. ජෝන්ට වුණු දෙය එකවරම හිතාගන්න නොහැකිවී ජෝන් ඒ කාන්තාවට හොඳ කම්මුල් පහරක් දීලා තියෙනවා.
රිෂී කපූර්
දැනට ජීවතුන් අතර නැති වුණත් රංගන ශිල්පී රිෂී කපූර් කෝපගන්න කෙනෙක් විදියට ප්‍රසිද්ධියට පත්වෙලා හිටිය කෙනෙක්. ඔහුගේ රසිකයින් කිහිපවරක්ම ඔහුගේ කෝපයට ලක්වෙලා අපහසුතාවයට පත්වෙලා තියෙනවා.
01.එක් වරක් ගණපති දින සැමරුමකදී රිෂී කපූර් කෝපයට පත්වෙලා මාධ්‍යවේදියකුට පහර දීලා තියෙනවා.
02. තවත් වරක් රිෂී හෙවත් චින්ටූ තම බිරිඳ නිතු, පුතු රන්බීර් සහ දියණිය රිද්දිමා එක්ක රාත්‍රී ආහාර ගැනීමට අවන්හලකට ගිහින් එහිදී රසිකාවියක් නීතු සහ රන්බීර් එක්ක ඡායාරූප ලබාගත් අතර ඇය රිෂී එක්ක සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට පැමිණි අවස්ථාවේ ඔහු අධික ලෙසින් කෝපයට පත්ව ඇයට ඉතා දරුණු විදියට බැනලා පන්නා දමා තියෙනවා.
03. රිෂී කපූර් තව දවසක උත්සවයකට සහභාගී විමට ගිහින් තියෙන අතර එතන බොහෝ වෙලාවක් වාඩිවෙලා සිටීමෙන් අනතුරැව රිෂී වැසිකිළියට යන්න ගිහිල්ලා තියෙනවා. ඒ වෙලාවේ ඔහුගේ රසිකයෙක් පැමිණ ඔහුගෙන් ඔටොග්‍රාෆ් එකක් ඉල්ලා තියෙනවා. ඒවෙලාවේ රිෂී හොඳටම කෝපවෙලා ඔහුට බැනලා එලවා දමා තියෙනවා.
ගෝවින්දා
ජනප්‍රිය නළු ගෝවින්දා කියන්නේ කම්මුල් පහරදීලා අධිකරණයටත් යන්න වුණු කෙනෙක්. මනි හෛ තෝ හනී හෛ කියන සිනමාපටය රූගත කරන දර්ශන තලයේදී තමයි මේ ඒ සිදුවීම වෙලා තියෙන්නේ. බිහාර්වල ජීවත්වෙන සංතෝෂ් රායි මුම්බයිවලට ආවේ ගෝවින්දව හමුවෙන්නමයි. ගෝවින්දා රෑගත කිරීම දර්ශනයකට පෙනී ඉඳලා ඔහුට විවේක ගන්න තියෙන තැනට ඇවිල්ලා ඔහුට වෙන්කරලා තියෙන පුටුවක වාඩිවෙන ගමන් පුටුව පිටිපස්සේ හිටගෙන ඉන්න සංතෝෂ්ගෙන් මොකද කියලා අහනවා. මොකුත් නැහැ සර් මම රෑගත කිරීම බලාගෙන ඉන්නවා කියලා සංතෝෂ් කියලා. එක්වරම වාඩිවෙලා හිටිය පුටුවෙන් නැගිටින ගෝවින්දා සංතෝෂ්ට පහර දීලා. ඒ නිසා පසුව ඒ රසිකයාගෙන් සමාව ගන්න විතරක් නෙවෙයි මුදලින් ලක්ෂ පහක වන්දියක් ගෙවන්නත් ගෝවින්දට සිදුවුණා.
අනුෂ්කා ශර්මා
අනුෂ්කා ශර්මාගේ රසිකයෙකුටත් වරක් ඇයගේ කෝපයේ ගොදුරක් බවට පත්වෙන්න වෙලා තියෙනවා. ඒ සිදුවීම වෙලා තියෙන්නේ සම්මාන උළෙලක් අතරතුරදියි. හිටි හැටියේම අනුෂ්කා කෙනෙක්ව තල්ලු කරලා දාලා. පසුව හොයා බලද්දී ඒ පුද්ගලයා දින ගණනාවක් තිස්සේ අනුෂ්කා පසුපස එන බව සොයාගෙන තියෙනවා. ඔහු තමන් අනුෂ්කාගේ රසිකයෙක් බව පවසමින් ඇයට නොහොබිනා දේවල් කියලා තියෙන නිසා ඇය ඔහුගෙන් බේරෙන්නේ ඔහුට ඒ විදියට සලකලා තියෙනවා.
ඔබත් කේන්ති ගන්න කෙනෙක්ද? අලුත් අවුරැද්දක් ඇවිල්ලා තියෙන නිසා කේන්තිය නැති කරගෙන යහපත් අලුත් කෙනෙක් වෙන්න ඔබත් උත්සාහ කළොත් හොඳයි නේද?
චන්දන වරාවිටගේ