මිලින්ද් සෝමන් අශ්ලීල වෙලා
රංගනයේ මෙන්ම නිරූපණයේ ද යෙදෙන මිලින්ද් සෝමන් නොවැම්බර් 4 දා සිය 55 වැනි උපන් දිනය සැමරුවේය. පිහිනුම් ශූරයෙකු ද, මැරතන් ධාවකයෙකු ද වන ඔහුගේ ප්‍රියතම විනෝදාංශ වන්නේ සංචාරය සහ දිවීමය. උපන් දිනය සැමරීම සඳහා සිය බිරිඳ අංකිතා කෝන්වාර් සමඟ ගෝවට ගිය මිලින්ද් එහි වෙරළේ නිරුවතින් දුවන ඡායාරූපයක් ඉන්ස්ටග්‍රෑම් අඩවියේ පළ කර තිබිණි. ඉන් කුපිත වූ ගෝවේ සුරක්ෂා මාන්ච් නමැති සංවිධානය විසින් ඔහුට එරෙහිව පොලීසියට පැමිණිලි කර තිබේ. ඒ ප්‍රසිද්ධ ස්ථානයක අශ්ලීල ලෙස හැසිරීමේ වරදටය. ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බැව් දකුණු ගෝවේ පොලිස් සුපිරින්ටෙන්ඩන්ට් පවසා තිබිණි.
මීට කලකට පෙර එවකට ඔහුගේ පෙම්වතිය වූ හිටපු ඉන්දීය රූ රැජින මධු සැප්‍රි සමඟ පෙනී සිටි වෙළෙඳ දැන්වීමක් ද මෙලෙසින්ම විවාදයට බඳුන් වූයේය. එය සපත්තු පිළිබඳ දැන්වීමක් වූ අතර ඔවුන් දෙදෙනා එහි පෙනී සිටියේ සපත්තු පමණක් දමාගෙන, නිරුවත් සිරුරු වටා පිඹුරෙකු ඔතාගෙනය. එම සිද්ධියත් කෙළවර වූයේ උසාවියෙනි.
මිලින්ද් සෝමන් හින්දි, තෙළිගු, මරාති පමණක් නොව ඉංග්‍රීසි චිත්‍රපටිවල ද රඟ පා තිබේ. අංකිතා ඔහුගේ දෙවන බිරිඳය. පළමු බිරිඳ මයිලීන් ජැම්පානොයි ප්‍රංශ නිළියක වූ අතර එම විවාහය පැවතුණේ වසර දෙකක් පමණකි. ඔහු අංකිතා සමඟ විවාහ වූයේ 2018 දීය.
චන්දි කොඩිකාර