මියෙන්නට නොපැතූ සුශාන්ත් සිං රාජ්පුත්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200622HolyBoly-(6)

සුශාන්ත් සිං රාජ්පුත්ගේ වයස අවුරුදු තිස් හතරක් වූවා පමණකි. ඒ කාලය ඇතුළත ඔහුට සතුට, ශෝකය, ජය, පරාජය සියල්ලම එක ලෙසින් අත් විඳින්නට ඉඩ ලැබිණි. නළුවෙකු, නර්තන ශිල්පියෙකු, ව්‍යවසායකයෙකු ලෙස ඔහු ජීවිතය ගොඩ නංවා ගත්තේය. මානව හිතවාදියෙකු ලෙස ප්‍රකට ඔහු අනෙක් අයගේ ජීවිත ගොඩ නංවන්නට ද උත්සුක වූයේය. එහෙත් සුශාන්ත් සිය ජීවිතයට ආදරය කර නැත. එසේ ආදරය කළේ නම් එල්ලී මිය යාම තරම් දරුණු තීරණයක් ගන්නට ඔහු කවදාවත් පෙළඹෙන්නේ නැති බැව් සහතිකය.

ඔහු බොහෝ සිහින දුටු පුද්ගලයෙකි. 2019 ට්විටර් අඩවියේ ඔහු අනාගතයේදී කරන්නට බලාපොරොත්තු වන දේවල් 50 ක් ලැයිස්තුගත කර තිබිණි. මේ ඒවාය. ඒවා අතර කොතැනකවත් එල්ලී මිය යන සිහිනයක් නම් තිබුණේ නැත. 

1. ගුවන් යානයක් පදවන්නට ඉගෙන ගැනීම

2. අයන්මෑන් තරඟයට පුහුණු වීම

3. වමතින් ක්‍රිකට් ක්‍රිඩා කිරීම

4. මෝර්ස් සංඥා ක්‍රමය ඉගෙන ගැනීම

5. ළමයින්ට අභ්‍යවකාශය ගැන ඉගැන්වීම

6. චැම්පියන් කෙනෙකු සමඟ ටෙනිස් ක්‍රිඩා කිරීම

7. ෆෝ ක්ලැප් පුෂ් අප්ස් පුහුණු වීම

8. චන්ද්‍රයා, අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහයන්ගේ ගමන් මාර්ගය සතියක් තිස්සේ නිරීක්ෂණය කිරීම

9. ගැඹුරු අගාධයක කිමිදීම

10. විද්‍යාත්මක පරීක්ෂණයකට සහභාගි වීම

11. පැල 1000 ක් සිටුවීම

12. දිල්ලියේ ඉංජිනේරු විද්‍යාලයේ නේවාසිකාගාරයේ සැන්දෑවක් ගත කිරීම (ඔහු එහි ඉගෙනගෙන තිබේ)

13. ළමයින් සිය දෙනෙකු නාසා ආයතනයේ වැඩමුළුවලට යැවීම.

14. කෛලාසකූටයේ භාවනා කිරීම

15. චැම්පියන් කෙනෙකු සමඟ පෝකර් සෙල්ලම් කිරීම

16. ජීවයේ කුඩාම අංශු පිළිබඳවත් මහා පරිමාණයෙන් අධ්‍යයනය කළ හැකි ලෝකයේ විශාලතම ආයතනයට යාම (ක්‍ෑඍභ)

17. සුළඟක රැස් වළල්ලක් පාට කිරීම

18. තවත් නාසා වැඩ මුළුවකට සහභාගි වීම

19. පොතක් ලිවීම

20. මාස හයකින් සික්ස් පැක් වර්ධනය කර ගැනීම

21. ගැඹුරු ස්වභාවික වළවල්වල පිහිනීම

22. දෘශ්‍යාබාධිතයන්ට සංඥා භාෂාව ඉගැන්වීම

23. කැලෑවක සතියක් ගත කිරීම

24. වේද ජ්‍යොතිෂය ඉගෙන ගැනීම

25. ඩිස්නිලන්තයට යාම

26. ගුරුත්වාකර්ෂණ නිරීක්ෂණ මධ්‍යස්ථානයට යාම

27. අශ්වයෙකු ඇතිදැඩි කිරීම

28. අඩුම වශයෙන් නැටුම් විලාශ දහයක්වත් ඉගෙන ගැනීම

29. නිදහස් අධ්‍යාපනයක් වෙනුවෙන් හඬ නැඟීම

30. ප්‍රබල අණ්වීක්ෂයකින් මන්දාකිණිය නැරඹීම

31. ක්‍රියා යෝග ඉගෙන ගැනීම

32. ඇන්ටාර්ටිකාවට යාම

33. කාන්තාවන්ට ආත්මාරක්ෂක සටන් ක්‍රම ඉගැන්වීම

34. ක්‍රියාත්මක ගිනි කන්දක් උඩ රඟ පෑම

35. කුඩා දරුවන්ට නැටුම් ඉගැන්වීම

36. දෑතම හුරු දුනුවායෙකු වීම

37. චාලි රෙස්නික් ගේ පොත් මාලාවම එක දිගට කියැවීම

38. පොලිනීසියානු තාරකා විද්‍යාව ඉගෙන ගැනීම

39. ලැම්බෝගිනියක් හිමි කර ගැනීම

40. වියානාවේ ශාන්ත ස්ටෙෆන් දේවස්ථානයට යාම

41. කම්පන තරංග ගැන කෙරෙන පරීක්ෂණයකට සහභාගි වීම

42. ඉන්දියානු ආරක්ෂක හමුදාවට ඇතුළු වෙන්නට සූදානම් වෙන සිසුන්ට උදව් කිරීම

43. කැමති ගීත පනහක ගිටාර් කෝඞ් හැදෑරීම

44. චැම්පියන් කෙනෙකු සමඟ චෙස් ක්‍රීඩා කිරීම

45. ස්වාමි විවේකානන්ද පිළිබඳව වාර්තා චිත්‍රපටියක් සකස් කිරීම

46. මුහුදේ රළ මතු පිට වේගයෙන් ඇදී යන සර්ෆ් ක්‍රීඩාව පුහුණු වීම

47. ගණිත දර්ශක තාක්ෂණය හැදෑරීම

48. කැපොයිරා සටන් ක්‍රමය ඉගෙන ගැනීම

49. යුරෝපය පුරා දුම්රියකින් සංචාරය කිරීම

50. ක්‍රමානුකූලව ගොවිපොළක් පවත්වාගෙන යන්නට ඉගෙන ගැනීම

 මේ සිහිනවලින් පහෙන් එකක්වත් සම්පූර්ණ කර ගන්නට පෙර ඔහු  ජීවිතය ගැන කළකිරුණේය. ඔහුගේ මුම්බායි හි නිවසේ නිදන කාමරයේ විදුලි පංකාවේ එල්ලී මිය ගොස් සිටි සුශාන්ත්ගේ සිරුර සොයා ගනු ලැබුවේ නිවසේ සේවකයා විසිනි. බලවත් කම්පනයට පත් ඔහු වහාම සුශාන්ත්ගේ තාත්තාට, අක්කලා හතර දෙනාට සහ පොලීසියට ඇමතුම් දුන්නේය. කොවිඞ් 19 වැළඳී නැති බැව් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඔහුගේ දේහය රෝහලට ගෙන යනු ලැබිණි.

සුශාන්ත් ඉපදුණේ පැට්නා ප්‍රදේශයේය. ඔහුගේ අම්මා මිය ගියේ 2002 වසරේදීය. ඉන් ඔහු බොහෝ සිත් වේදනාවට පත් වූයේය. තාත්තා අක්කලා හතර දෙනාත් ඔහුත් රැගෙන දිල්ලියේ පදිංචියට ආවේ ඉනික්බිතිවය. ඔහුගේ එක අක්කා කෙනෙකු වන මිතු සිං ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රිඩිකාවකි.

සුශාන්ත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුවේ ඉංජිනේරු අංශයෙනි. ඔහු ජාතික මට්ටමේ ඔලිම්පියාඞ් ජයග්‍රාහකයෙකි. ඔහු ඒ අතරම නර්තන පන්තියකට සහභාගි වූයේය. ඔහු තුළ රඟ පෑම පිළිබඳ ආශාවක් ඇති වූයේ ඒ පන්තියේදීය.

ඔහු මුලින්ම රඟ පෑවේ කිස් දේශ් මෑ හෑ මෙරා දිල් රූපවාහිනී මාලා නාටකයේ ප්‍රිත් ගේ චරිතයයි. ඉන් පසු පවිත්‍ර රිෂ්තා ටෙලි නාට්‍යයේ මානව්ගේ චරිතයෙන් රසික සිත් ඇදබැඳ ගත්තේය. කයි පො චේ ඔහු රඟ පෑ පළමු චිත්‍රපටියයි. ඉනික්බිතිව ශුධ් දේශි රොමෑන්ස්, පී. කේ, රාබ්තා, කේදර්නාත් ඇතුළු චිත්‍රපටි කිහිපයක රඟ පෑවේය. ඉන්දීය ක්‍රිකට් ක්‍රිඩාවේ පතාක යෝධයෙකු වන එම් එස් දෝනිගේ ජීවිත කතාව ඇසුරින් නිපදවූ එම්. එස් දෝනි ද අන්ටෝල්ඞ් ස්ටෝරි  චිත්‍රපටියේ දෝනිගේ චරිතය රඟ පෑවේ සුශාන්ත්ය. ඒ වෙනුවෙන් ප්‍රශංසා ලැබුණා මෙන්ම විවේචන ද එල්ල වූයේය. 

පවිත්‍ර රිෂ්තා ටෙලි නාට්‍යයේ ඔහුගේ පෙම්වතිය ලෙස රඟ පෑ අංකිතා ලොක්හැන්දේ සමඟ අවුරුදු හයක පෙම් සබඳතාවක් පැවැත්වුව ද විවාහ වෙන්නට ඔන්නමෙන්න කියා තිබියදී එම සබඳතාව බිඳී ගියේය. ඉනික්බිතිව ක්‍රිති සැනොන් සහ රී චක්‍රබෝර්ති සමඟ සබඳතා තිබූ බවට  කටකතා පැතිරුණත් ඒවා හරියටම තහවුරු වී තිබුණේ නැත.

තමන්ගේම චිත්‍රපටියක ගගනගාමියෙකු ලෙස රඟ පාන්නට බලපොරොත්තුවෙන් සිටි ඔහු ඒ සඳහා තොරතුරු සපයා ගැනීමට නාසා ආයතනයේ සංචාරයක් ද කළේය.

කෙසේ වුවත් පසු ගිය මාස හයක කාලයේ ඔහු මානසික ආතතියෙන් පෙලුණ බවත්, ඒ සඳහා ප්‍රතිකාර ලබා ගත් බවත් කියැවෙයි. තමා සම්බන්ධ කර පැතිරෙන කටකතා ගැනත් ඔහු කළකිරී සිටියේය. එහෙත් දිවි නසා ගන්නට තරම් පැහැදිලි හේතුවක් තවමත් අනාවරණය කර ගන්නට නොහැකි වූ බැව් පොලීසිය මෙන්ම ඔහුගේ මිතුරෝත් කියති.

චන්දි කොඩිකාර

20200622HolyBoly-(1) 20200622HolyBoly-(2) 20200622HolyBoly-(3) 20200622HolyBoly-(4) 20200622HolyBoly-(5) 20200622HolyBoly-(7) 20200622HolyBoly-(8)