මිය ගිය නළුනිළියන් වෙනුවට තෝරා ගත් අය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චිත්‍රපටියකට තෝරා ගන්නා ලද නළුවෙකු හෝ නිළියක වෙනුවට වෙනත් අයෙකු යොදා ගන්නට බොහෝ හේතු තිබේ. මේවායින් ඛේදනීයම අත්දැකීම වන්නේ අකාලේ මියගිය නළුනිළියන් වෙනුවට වෙනත් අය තෝරා ගැනීමට සිදු වීමය. 
පසු ගියදා රිෂි කපූර් මිය ගියේය. ඒ වන විට ඔහු සිටියේ සාර්ථක හොලිවුඞ් චිත්‍රපටියක හින්දි නිෂ්පාදනය වන ද ඉන්ටර්න්හි රඟ පාන්නට සූදානමිනි. එහෙත් ඔහුගේ හදිසි මරණය නිසා ඒ චරිතයට මෙගා තරුව  අමිතාබ් බච්චන් නම් කරනු ලැබිණි. 
“මගේ විශේෂිතම සහාය නළුවා වන අමිතාබ් එක්ක නැවත වරක් රඟ පාන්නට ලැබීම ලොකු ගෞරවයක්..”
චිත්‍රපටියේ පෝස්ටරයක් ද ප්‍රදර්ශනය කරමින් දීපිකා සමාජ ජාලා වෙබ් අඩවියක එසේ සඳහන් කර තිබිණි. 
සුශාන්ත් සිං රාජ්පුත් හදිසියේ මරණයට පත් වෙද්දී ඔහු සිය අභ්‍යවකාශය පිළිබඳ  චිත්‍රපටිය හැරෙන්නට තවත් චිත්‍රපටි කිහිපයකට ම ගිවිසුම් අත්සන් කර තිබිණි. අධ්‍යක්ෂ අභිෂේක් කපූර් ගේ චන්දිගාර් කෙරේ ආශිකි චිත්‍රපටිය ද ඒ අතර විණි. අවසානයේදී සුශාන්ත් වෙනුවට එයට තෝරා ගන්නා ලද්දේ ආයුෂ්මන් ඛුරානාය. 
ශ්‍රී දේවිගේ මරණය සිදු වූයේත් හදිසියේය. ඒ වන විට ඇය කලන්ක් සහ ශිද්දාත් චිත්‍රපටිවල රඟ පෑමට සුදානම්ව සිටියාය. ඇගේ මරණය නිසා චිත්‍රපටි නිෂ්පාදකයෝ බලවත් අපහසුවට සහ කම්පනයට පත් වූහ. චිත්‍රපටිවල ඉරණම කෙසේ විසඳෙනු ඇද්දැයි දෙගිඩියාවෙන් සිටි ඔවුහු පසුව මධුරි ඩික්සිත් ඒ සඳහා යොදා ගත්හ. 
90 දශකයේ ජනප්‍රියම, කාර්ය බහුලම සහ වැඩි ගෙවීමක් ලබන නිළියන් අතර 19 හැවිරිදි දිව්‍යා භාරතී ද සිටියාය. ඇය මිය ගියේ ගොඩනැගිල්ලක පස් වන මහලේ වූ ඇගේ නිවසේ සඳළු තලයෙන් බිමට ඇද වැටෙමිනි. ඒ වන විට ඇය බීමත්ව සිට තිබිණි. එය එකල බොහෝ අන්දෝලනයට තුඩු දුන් මරණයක් වූයේය.  ඇය මිය යන විට මොහ්රා ඇතුළු චිත්‍රපටි කිහිපයකම රඟ පාන්නට නියමිතව සිටි අතර මොහ්රා චිත්‍රපටියේ දර්ශන කිහිපයක් ද රූගත කර තිබූ බැව් කියැවිණි. පසුව එම චරිතය රඟ පෑවේ රවීනා තන්දන්ය. 1994  ප්‍රදර්ශනය වූ එය සුවිසල් ජනප්‍රියත්වයක් ලද්දේය. එහි රඟ පෑ නළුවන් වූයේ ආක්ෂේ කුමාර් සහ සුනීල් ෂෙට්ටිය.  
භාරත සිනමාවේ පුරාවෘත්තයක් වූ ගුරු දත් මිය යන විට ඔහු රඟ පාමින් සිටියේ බහරේන් ෆිර් භි ආයෙංගි චිත්‍රපටියේය. චිත්‍රපටි නිෂ්පාදකයෙක්, අධ්‍යක්ෂවරයෙක්, නැටුම් අධ්‍යක්ෂවරයෙක් මෙන්ම තිරකතා රචකයෙකු ද වූ ඔහුගේ නියම නම වසන්ත් කුමාර් ශිවශංකර් පදුකෝන්ය. ඔහු මිය ගිය පසුව එම චරිතයට ධර්මේන්ද්‍ර යොදා ගැනිණි. ඔහු දීපිකා පදුකෝන් ගේ ඥාතියෙකු බව ද කියැවෙයි. ඔහු විවාහ වී සිටියේ ගායිකාවක වූ ගීතා දත් සදමඟය. ඔවුන්ට දරුවන් තිදෙනෙකු සිටියත් විවාහ ජීවිතය අසාර්ථක වූයේය. එවකට ජනප්‍රිය නිළියකව සිටි  වහීඩා රහමන් සමඟ වූ සම්බන්ධය ද විවාහයේ අසාර්ථක බවට හේතු වී තිබිණි. 
පසු කලෙක ඔහු ගීතාගෙන් වෙන්ව තනිවම ජීවත් වෙන්නට පටන් ගෙන තිබිණි. බොහෝ සෙයින් මතට ඇබ්බැහි වී සිටි ඔහු  මිය ගියේත් මත් දියර සහ නිදි පෙති කලවමි කර බීමෙනි. ඊට පෙරද ඔහු දෙවරක්ම දිවි නසා ගන්නට උත්සාහ කර තිබූ බැව් මරණයෙන් පසුව අනාවරණය වූයේය. ගීතා දත් ද බීමට ඇබ්බැහි වී සිටියාය. 41 හැවිරිදි ව සිටියදී ඇය මිය ගියේත් අධික බීමත්කම හේතුවෙන් අක්මාවට හානි සිදු වීමෙනි.

20210418Actor-1