මධුරි ඩික්සිත්
90 දශකයේ මධුරි ඩික්සිත්ට සම කළ හැකි නිළියක සිටියේ නම් ඒ ඇයම පමණකි. ඇය රඟ පෑ චිත්‍රපටි හැම එකක්ම පාහේ ආදායම් වාර්තා තබමින් ප්‍රදර්ශනය වූයේය. එම නිසාම ඉල්ලන ගණනක් ගෙවා ඇය සිය චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට යොදා ගන්නට නිෂ්පාදකයන් පසුබට වූයේ නැත. වැඩිම මුදලක් අය කරන නිළිය ලෙසින් ඇය එකල දෝෂ දර්ශනයට ද ලක්වූ බැව් මතකය.
මධුරි උපන්නේ 1967 මැයි 15 දාය. ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායිහිදීය. ඇගේ පියා ශංකර් ඩික්සිත්ය. මව ස්නේලතාය. අජිත් ඩික්සිත්, රූපා ඩික්සිත් සහ භාරතී ඩික්සිත් ඇගේ සොයුරු සොයුරියන්ය. ඇය ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියකි.
මධුරි ඩික්සිත් නර්තනය පුරුදු පුහුණු වූයේ තුන් හැවිරිදිව සිටියදීය. එතරම් කුඩා කාලයේදී පවා ඇය කතක් නැටුම්වලට අතිශයින් දක්ෂවූවා පමණක් නොව නැටුම් තරගවලට ඉදිරිපත්ව තෑගිත් දිනා ගත්තාය.
ඇය 1984 දී රූපවාහිනී නාට්‍යයක රඟපෑවත් එය කවදාවත් ප්‍රදර්ශනය වූයේ නැත. එය ප්‍රදර්ශනය කරන්නට තරම් හොඳ නාට්‍යයක් නොවන බවට බලධාරීන් තීරණය කර තිබිණි.
ඒ වනවිට ක්ෂේත්රයේ ඉහළම මට්ටමේ වැජඹුණ නිරූපිකාවක වී නමුදු ඇයට බොලිවුඩයේ තැනක් ලබා ගැනීමට අවුරුදු අටක්ම ගත වූවාය.
ඇයට 1988 නේසාබ් චිත්‍රපටියේ ප්‍රධාන නිළි චරිතය රඟපාන්නට ලැබිණි. ඒ අනිල් කපූර් සමගය. එය අතිශයින් ජනප්‍රිය වූවා පමණක් නොව මධුරිගේ නර්තන හැකියාව පිළිබඳ පැහැදිලි ප්‍රතිරූපයක් ක්ෂේත්රයේ සියලූ දෙනාගේම සිත්වල අඳින්නට සමත් වූවාය. එහි ‘‘ඒක් දෝ තීන්’’ ගීතය වෙනුවෙන් ඇය විසින් කරන ලද රංගනය අදටත් පේ්රක්ෂක සිත් තුළ විරාජමානය. අනිල් x මධුරි සුසංයෝගය තිරයට මොනතරම් ගැලපුණේද යත් ඉනික්බිති ඔවූහු ‘‘රාම් ලකාන්, ජමෙයි රාජා, කිෂේන් කන්හයියා, බේටා’’ ඇතුළු චිත්‍රපටි කිහිපයකම එකට රඟපෑහ. අනිල් ඇය ඉහළ තලයට ඔසවා තබන්නට හැකි හැම උත්සාහයක්ම ගත්තේය. ඔවුන් දෙදෙනාටම සිටියේ එකම ලේකම් කෙනෙකි. කෙසේ වුවත් ඔවුන් දෙදෙනා අතර සම්බන්ධයක් ඇතැයි කටකතාවක්ද එකල ක්ෂේත්රයේ පැතිර ගියේය.
අනිල් කපූර්ගෙන් පසුව මධුරිගේ තිරයේ පෙම්වතා වූයේ සන්ජේ දත්ය. ‘‘සාජන්’’ චිත්‍රපටිය රූගත කරන කාලයේදී ඔවූහු සැබෑම පෙම්වත්තු බවට පත්වූහ. එහෙත් මේ සම්බන්ධයට මධුරිගේ පියා තරයේම විරුද්ධ වූයේය. ඒ වන විට රිචා ශර්මා සමග විවාහ වී එක් දරු පියෙකුව සිටි සන්ජේ මත්ද්‍රව්‍ය ද භාවිත කළේය. එහෙත් මධුරි නිතර නිතරම ඔහු හමුවීමට ගියාය.
සමහරු කියන්නේ ඒ වන විට රිචා පිළිකාවකින් පීඩා විඳිමින් සිටි නිසා සන්ජේගේ සිත සනසවන්නට මධුරි ඔහුට ළං වූ බවය. රිචා මියගියාට පසුවත් ඒ සම්බන්ධය එසේම පැවතිණි. එය එහෙමපිටින්ම නතර වූයේ සන්ජේ දත් සිරගත කරනු ලැබුවාට පසුවය. තමා හා සන්ජේ චිත්‍රපටි කිහිපයකම එකට රඟ පෑ බැවින් එවන් කටකතාවක් නිර්මාණය වෙන්නට ඇති බැව් මධුරි පසු කාලයක මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.
‘‘කානූන් අප්නා අප්නා, කාල් නායක්, සාජන්, තානේද්රර්’’ ඇතුළු චිත්‍රපටි ගණනාවක ඔවූහු එකට රඟපෑහ.
ශාරුක් ඛාන් සමග මධුරි පළමුව රඟපෑවේ ‘‘අන්ජාන්’’ චිත්රපටියේය. එහෙත් එය එතරම් සාර්ථක වූයේ නැත. එහෙත් ‘‘දිල් තෝ පාගල් හෑ’’ සුපිරි චිත්‍රපටියක් වූවා පමණක් නොව තිරයට අපූරු පෙම් යුවළක් ද බිහි කළේය. එකල තරුණ පරම්පරාවේ ආදර සංකේත බවට පත්වෙන්නට ඔවුන් දෙදෙනාට හැකිවිණි. ‘‘කොයිලා, ගජ ගාමිණී, දේව්දාස්, හම් තුම්හාරේ හෑ තුමාරේ සනම්’’ බොහෝ ජනප්‍රිය වූයේය.
මධුරි සහ සල්මන් ඛාන් රඟ පෑ චිත්‍රපටි පේ්රක්ෂකයන් උමතුවට පත් කරන තරම් ආකර්ෂණීය වූයේය. ‘‘හම් අප්කේ හෑ කෝන්’’ චිත්‍රපටිය ඉන්දියානු සිනමා ඉතිහාසය අලූතින් ලියැවූවාක් බඳු වූයේය. ඇයට ෆිල්ම් ෆෙයාර් හොඳම නිළිය සම්මානය ද හිමි වූයේ මේ චිත්‍රපටියෙනි. ඇගේත් සල්මන්ගේත් පෝස්ටර් එකතු කරන්නට තරුණ තරුණියෝ පොර කෑහ.
‘‘සාජන්’’ චිත්‍රපටියේ මධුරි රඟපෑවේ සල්මන් ඛාන් සහ සන්ජේ දත් දෙදෙනාම සමඟිනි. එහෙත් වඩාත් ජනප්‍රිය වූයේ සල්මන් සහ මධුරිය. ‘‘හම් තුම්හාරේ හෑ තුමාරේ සනම්’’ චිත්‍රපටියේ ඇය ශාරුක් සහ සල්මන් සමග රඟපෑවාය. ‘‘දිල් තෙරා ආශික්’’ ඇතුළු චිත්‍රපටි ගණනාවකට සල්මන් සහ මධුරි චරිත නිරූපණය කළහ. අදටත් ඔවුන් දෙදෙනා හොඳ මිතුරු මිතුරියන් වන අතර ඔහු සමග රඟපාන්නට තමා බොහෝ ප්‍රිය කරන බැව් මධුරි ප්‍රකාශ කර තිබේ.
1990 දී මධුරි ‘‘දිල්’’ චිත්‍රපටියේ රඟපෑවේ අමීර් ඛාන් සමගය. ඒ වන විට අමීර් අද මෙන් ජනප්‍රිය වී සිටියේ නැත. එහෙත් ඔවුන් දෙදෙනාගේ සුසංයෝගය ඉතාමත් හොඳින් ගැලපුණ බැවින් ‘‘දිල්’’ ඒ වසරේ ඉන්දියාවේ තිරගත වූ සාර්ථකම චිත්‍රපටිය බවට පත්වූයේය. මධුරි අමීර්ගේ වෘත්තිය රැුක දුන් බැව් විචාරකයෝ පැවසූහ. කෙසේවුවත් ‘‘දිවානා මුජ් සානහී’’ චිත්‍රපටිය තුළ දෙදෙනාම අසාර්ථක වූහ.
1994 දී ‘‘හම් ආප්කේ හෑ කෝන්’’ චිත්‍රපටිය වෙනුවෙන් ඇය අය කළ මුදල රුපියල් කෝටි තුනකට ආසන්නය. ඒ පිළිබඳ නොයෙකුත් විවේචන ද එකල පැවතිණි.
මධුරිගේ ජනප්‍රියත්වය හුවා දක්වන්නට හොඳම උදාහරණයක් ලෙස දැක්විය හැකි කතාවක් තිබේ. එකල ඉන්දු පකිස්තාන දේශ සීමා යුද්ධය පැවතිණි.
මධුරි ඩික්සිත් තමන්ට ලබාදුනහොත් යුද්ධය වහාම නවත්වා තමන් පිටව යන බැව් පකිස්තාන් යුද හමුදා ප්‍රධානියා පැවසූ බවට සරදම් කතාවක් එකල පැතිර ගියේය.
කීර්තිමත් චිත්‍ර ශිල්පී එම්.එෆ්. හුසේන් පවසා තිබුණේ ලෝකයේ සිටින සුන්දරතම කාන්තාව මධුරි බවය. ඔහු ‘‘ගජ ගාමිණී’’ චිත්‍රපටිය නිර්මාණය කළේ ඇයට උපහාරයක් වශයෙන් යයි ඔහු ප්‍රකාශ කර තිබිණි.
වෛද්‍ය ශ්‍රීරාම් තෙනේ සමග විවාහයෙන් පසුව මධුරි ඇමෙරිකාවේ පදිංචියට ගියාය. ඇය ශ්‍රීරාම් හැඳින ගත්තේ ඇගේ සොයුරා අජිත් ඩික්සිත් මාර්ගයෙනි. අවුරුදු 12 ක පමණ කාලයක් එහි පදිංචිව සිටි ඔවූහු නැවත ඉන්දියාවේ පදිංචියට ආවේ 2011 දීය. මධුරි නැවතත් චිත්‍රපටි, දැන්වීම් සහ රූපවාහිනී වැඩසටහන්වලට පෙනී සිටින්නට පටන් ගත්තේ ඉන්පසුවය.
ඇය දැන් පුතෙකුගේත් දියණියකගේත් මවකි.