බොලිවුඩ් අඹරට පායන අලුත් තරු
හැම වසරකම බොලිවුඞ් ක්ෂේත්රය විසින් දෑත් විදා අලුත් නළුනිළියන් පිළි ගනු ලබන්නේය. මින් සමහර නළුනිළියන් දක්ෂතා අතින් පරිපූර්ණ වන අතර ඔවුන්ට එහි පය ගසා සිටින්නට අසීරුවක් නැත. එහෙත් සමහරු කොහේදැයි නොදැන අතුරුදහන් වී යති.
කොරෝනා වසංගතය නිසා 2020 වසර කාටත් අඳුරු වසරක් වූයේය. නිරන්තරයෙන්ම යාවත්කාලින වන හින්දි සිනමාව ද එකතැන නැවතිණි. චිත්‍රපටි තිරගත වෙන්නට නියමිතව තිබූ දිනයන් කල් දමන්නට සිදු වූයේය. සමහරු සිය චිත්‍රපටි වෙබ් අඩවි ඔස්සේ නරඹන්නට ප්‍රේක්ෂකයන්ට ඉඩ ලබා දුන්හ. කෙසේ වුව ද දක්ෂතා ඇති තරුණ නළුනිළියන් 2021 දී දොරට වඩම්මන්නට බොලිවුඞ් ක්ෂේත්රය සූදානමින් සිටින්නේය. මින් සමහරු බොලිවුඞ් ඥාතීන් ගේ අනුග්‍රහයෙන් පැමිණි අය වන අතර සමහරු හුදෙක් දක්ෂතා මතින්ම පැමිණි අය වෙති. මේ ඒ නවක තරු පොකුරයි.
ශලිනි පාණ්ඬේ
ජනප්‍රිය තෙළිඟු චිත්‍රපටියක් වන අර්ජුන් රෙඞ්ඩි හි රඟ පෑමෙන් එක රැයින් කතාබහට ලක් වූ නිළියක වන ශලිනි හින්දි සිනමාවට පා තබන්නේ රන්වීර් සිං ගේ ජයේෂ්භායි ජෝර්දාර් චිත්‍රපටියේ රඟ පාමිනි.
ලක්ෂ්‍ය ලාල්වානි
රූපවාහිනී නාට්‍ය කිහිපයක රඟ පෑ ලක්ෂ්‍ය ගේ සිහිනය වූයේ කවදා හෝ හින්දි සිනමාවට එක් වීමය. ඔහුට එම සිහිනය සැබෑ කර දෙන ලද්දේ කරන් ජෝහාර් විසිනි. දෝස්තානා 2 චිත්‍රපටියේ ඔහු කාර්තික් ආර්යන් සහ ජාන්වි කපූර් සමඟ රඟ පාන්නට නියමිතව සිටින්නේය. ඔහු පුංචි තිරය මෙන්ම රිදී තිරය ද බබලවනු ඇතැයි විචාරකයෝ කියති.
මනුෂි චිල්ලාර්
ඇය 2017 ලෝක රූ රැජින කිරුළ පැළඳියාය. ඉනික්බිතිව අයිශ්වර්යා රායි සහ සුෂ්මිතා සෙන් අනුගමනය කරමින් හින්දි සිනමාවට පා තබන්නට ඇයටත් හැකි වූයේය. ඒ ආක්ෂේ කුමාර් ගේ ඓතිහාසික චිත්‍රපටිය ප්‍රිත්විරාජ් තුළිනි.
ශර්වාරි වාග්
“ද ෆොගොටන් හීරෝ’ වෙබ් චිත්‍රපටි මාලාව තුළින් අතිශය ජනප්‍රියත්වයට පත් ශර්වාරි හින්දි සිනමාවට පිවිසෙන්නේ යාශ්රාජ් ෆිල්ම්ස් නිෂ්පාදනය කරන බන්ටි සහ බබ්ලි 2 චිත්‍රපටියේ රඟ පාමිනි. එහි ඇය සමඟ තිරය බෙදාහදා ගන්නේ රාණි මුඛර්ජි, සායිෆ් අලි ඛාන්, සිද්ධාන්ත් චාතුර්වේදී ඇතුළු පිරිසකි.
“සමහරු කියනවා මම නිතරම හිනා වෙනවා.. ඒ හිනාව ඕනවට වැඩියි කියලා.. ඇත්තටම මම දන්නෙ නෑ ගාණකට හිනා වෙන්නෙ කොහොමද, බොරුවට හිනා වෙන්නෙ කෙහොමද කියලා.. හිනා වෙන්න ඕන වෙනකොට මම නිදහසේ හිනා වෙනවා..”
ඇය එසේ කියන්නේ ද සිනාසෙමිනි.
අහාන් ෂෙට්ටි
පියා සුනීල් ෂෙට්ටි, සොයුරිය ආතියා ෂෙට්ටි දෙදෙනාම හින්දි සිනමාවේ කොටස්කරුවන් වන නිසාම අහාන් ෂෙට්ටිගේ සිරුරේ ඇත්තේත් රඟ පෑමේ ජානමය. ඔහු තිරයට එන්නේ සජිඞ් නාදියවාලා නිර්මාණය කරන ආර් එක්ස් 100 චිත්‍රපටියේ තාරා සුටාරියා සමඟ රඟ පාමිනි. එය තෙළිඟු චිත්‍රපටියක නැවත නිර්මාණයකි.
ප්‍රනීතා සුභාෂ්
මේ වන විටත් දකුණු ඉන්දියාවේ නමක් දිනා ගත් නිළියක වන ප්‍රනීතා හින්දි සිනමාවට පිවිසෙන්නේ ප්‍රියදර්ශන්ගේ හුංගම 2 චිත්‍රපටියේ රඟ පාමිනි. මෙහි ශිල්පා ෂෙට්ටි, පරේෂ් රාවල් සහ මීසාන් ජැෆරි ද රඟ පාති.
පාලක් තිවාරි
ජනප්‍රිය රූපවාහිනී නිළි ස්වේතා තිවාරිගේ දියණිය වන පාලක් තිවාරිට දහස් ගණනක් රසිකයන් ගේ ප්‍රසාදය හිමිව තිබුණේ චිත්‍රපටියක රඟ පානවා තබා ඒ ගැන සිතන්නටත් බොහෝ කාලයකට පෙර පටන්ය. විවේක් ඔබ්රෝයි ගේ රෝසී ද සැෆ්රෝන් චැප්ටර් චිත්‍රපටියේ රඟ පාමින් හින්දි තිරයට පිවිසෙන්නට දැන් ඇයට මඟ සැකසී තිබේ. ඇය සිය අම්මා මෙන්ම ජනප්‍රිය වෙනවා ඇතැයි ඇගේ රසිකයෝ කියති.