බොලිවුඩයේ අලූත් කතාව සුශාන්ත් සිං රාජ්පුත්
මේ දිනවල බොලිවුඞ් ක්ෂේත්රයේ වැඩිපුරම කතාබහට ලක් වී ඇති නළුවා සුශාන්ත් සිං රාජ්පුත්ය. ඒ රාබ්තා චිත්‍රපටිය නිසාය. පුනරුත්පත්තිය ගැන කතාකරන චිත්‍රපටියක් වන රාබ්තාහි ඔහු රඟපාන්නේ ක්රිනි සැනොත් සමඟය. ඔවුන් දෙදෙනා ඉතා කදිමට ගැලපෙන තරු යුවලක් බැව් එහි ප්රචාරක පටය නැරඹූ සියල්ලෝම කියති.
1986 ජනවාරි 21 දින බිහාර් ප්‍රාන්තයේ පැට්නාහි උපත ලද සුශාන්ත් ඉංජිනේරු උපාධිය සඳහා අධ්‍යාපනය ලැබුවේය. එහෙත් රඟපෑමට සිත යොමු වීම නිසා ඉගෙනුම සම්පූර්ණ කරගන්නට ඔහුට නොහැකි වූයේය.
ඔහු කේෂ්ත්‍රයට එක් වූයේ රූපවාහිනිය හරහාය. ඉතා ජනප්‍රිය මාලා නාටකයක් වූ පවිත්‍රා රිෂ්ටාහි ඔහු රඟපාන චරිතය විසින් ඔහුට සම්මාන ගණනාවක් පමණක් නොව ක්ෂේත්රයේ ස්ථාවර බවක්ද ලබාදෙනු ලැබිණි. එපමණක් නොව ඔහුට සිය පෙම්වතිය අන්කිතා ලෝක්හැන්දේ හමුවූයේත් පවිත්‍රා රිෂ්ටා නිසාය. ඇයද එහි රඟපෑවාය. ඔවුන් අතර දිගු කාලීන සම්බන්ධයක් පැවැතිණි. 2011 දී ඔවුහු විවාහ ගිවිස ගත්හ. එහෙත් 2016 දී සියල්ල නිමා කොට ඔවුහු එකිනෙකාගෙන් වෙන් වූහ.
දැන් ක්‍රිති සැනොත් සහ සුශාන්ත් සිං අතර සම්බන්ධයක් ඇතැයි රාවයක් ක්ෂේත්රයේ පැතිර යමින් පවතියි. සමහරු කියන්නේ ඔවුන් දෙදෙනා තිරයට හොඳින් ගැලපෙන තරු යුවලක් බැවින් එබඳු කතා පැතිරෙන බවය.
කායි පෝ චේ චිත්‍රපටියෙන් රිදී තිරයට පැමිණි සුශාන්ත් හොඳම නවක නළුවා ලෙස ඒ වසරේ ෆිල්ම් ෆෙයාර් සම්මානයට නිර්දේශ වූයේය. ශුද් දේශී රොමෑන්ස්, පී.කේ, ඩිටෙක්ට්ව් බයෝකේෂ් බක්ෂි ඔහු රඟපෑ අනෙක් චිත්‍රපටිය ඔහු ගැන වඩාත්ම කතා කෙරුණේ ඉන්දියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙකු වූ මහේන්ද්‍ර සිං දෝනිගේ ජීවිත කතාව ඇසුරු කරගෙන නිෂ්පාදනය කෙරුණු එම්.එස්. දෝනි ද අන්ටෝල්ඞ් ස්ටෝරි චිත්‍රපටිය නිසාය. එම චරිතයද 2016 වසරේ ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නළු සම්මානයට නිර්දේශ වූයේය.
රාබ්තාද ඔහුගේ රංගන ජීවිතයේ සන්ධිස්ථානයක් වනු ඇතැයි බොහෝ දෙනෙක් කියති.
‘‘සම්මානවලට නිර්දේශ වුණත් ඒවා නොලැබීම ගැන දුකක් හිතෙන්නේ නැද්ද?..’’
වරක් මාධ්‍යවේදියෙක් ඔහුගෙන් ප්‍රශ්න කළේය.
‘‘තමන් කරන දෙයක් අනිත් අය අතරේ ඇගයීමට ලක් වෙනවා කියන්නෙ ලොකු සතුටක්. ඒත් මම සම්මාන බලාගෙන රඟපාන්නේ නෑ. මං කරන්න ඕන දේ මොකක්ද කියලා තෝරාගෙන ඒක හරියට කරනවා.’’ ඔහු පැවසුවේය.