බොලිවුඩය ආදරයෙන් පිරවූ ශෂි කපූර්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-12-ent-13

‘‘මම මරණයට බය නෑ..... ජීවිතය එන හැටියකට බාර ගන්නවා.....’’

අක්මාවේ ආබාධයක් හේතුවෙන 79 වැනි වියේදී සදහටම ජීවිතය අත්හැර දැමු ශෂි කපූර්ගේ ජීවන දර්ශනය එය වුයේය.

බොලිවුඞ් සිනමාවේ රජ කළ තවමත් රජ කරන කපූර් පරපුරේ මුල් සාමාජිකයකු වූ ශෂීගේ නියම නම බල්බීර් රාජ් ප‍්‍රිතිවිරාජ් කපූර්ය. ඔහු ටැක්සි යන විහිළු නමින්ද හැඳින්විණි. ඔහුගේ පියා නළුවෙකු, චිත‍්‍රපට නිෂ්පාදකයකු සහ තිර කතා රචකයකු වූ ප‍්‍රීතිවිරාජ් කපූර්ය. රාජ් කපූර්, ශම්මි කපූර් ඔහුගේ අයියලා දෙදෙනාය.

1938 මාර්තු 18 වෙනිදා උපත ලද ඔහු කුඩා කල සිටම හැඳින්වූයේ ශෂී කපූර් ලෙසිනි. කුඩා කලදීම ඔහු නේවාසික පාසලකට ඇතුළත් කරනු ලැබීය. එහි කෑම බීම කුඩා ශෂීට ඇල්ලූවේ නැත.

‘‘හැමදාම මේ කෑම කන්න සිද්ධ වුණොත් මම දිවි නසා ගන්නවා......’’

පුංචිකමට ඔහු සිය මව රාම්සර්නි මෙහෙරාට ලිපියක් යැව්වේය. එම ලියුමේ පිහිටෙන් ඔහුට නේවාසිකාගාරයෙන් ඉවත්වී ගෙදර එන්නට හැකිවිණි.

සිය පියා විසින් නිර්මාණය කරනු ලැබූ වේදිකා නාට්‍ය සහ චිත‍්‍රපටවල රඟපාන්නට ශෂී යොමු වූයේ කුඩා කල පටන්මය. ළමා නළුවකු ලෙස ඔහුගේ හොඳම රඟපෑම වාර්තා වුයේ 1951 තිරගත වූ ආවාරා චිත‍්‍රපටියේය. එහි ප‍්‍රධාන චරිතය රඟපෑ රාජ් කපූර්ගේ බාල විය නිරූපණය කළේ ශෂීය.

1961 ධර්මපුත‍්‍ර චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රඟ පාමින් ඔහු වෘත්තීය නළුවෙකු බවට පත් වුයේය. ඉනික්බිතිව දීවාර්, කභි කභි, බසේරා, නමක් හලාල්, වොක්ට්, ත‍්‍රීශූල්, ආ ගලේ ලග්ජා, සුබාග්, ආදී චිත‍්‍රපටි රැුසක රඟපාමින් අතිශයින් ජනප‍්‍රිය වෙන්නට වාසනාව ඔහුට තිබිණි. මේ චිත‍්‍රපටි සියල්ලම පාහේ ආදායම් වාර්තා බිඳ හෙළමින් ප‍්‍රදර්ශනය විණි.

ඔහු මොන තරම් කාර්යබහුල වීද යත් සිය කාරයේම හෝ කුලී රථයේම නිදා ගන්නට ඔහුට සිදුවී තිබිණි. ඔහුට ටැක්සි නම පට බැඳීමට එක් හේතුවක් එය වූයේය. අනෙක් හේතුව වූයේ ඔහු ගමන් බිමන් යාමට සිය කාරයට වඩා ටැක්සි භාවිතා කිරීම සහ අතරමගදී සිය සහාය නළුවන් හෝ මිතුරන් හමු වුවහොත් ඔවුන් රියට නංවා ගැනීමය.

1970 - 75 අතර කාලයේ වැඩිම ගෙවීමක් ලැබූ නළුවා රාජේෂ් ඛන්නාය. දෙවැනියට සිටියේ දෙව් ආනන්ද් හා ශෂී කපූර්ය. පසුව ඔහු චිත‍්‍රපට නිෂ්පාදනයට ද අත ගැසීය.

ශෂී විවාහ වුයේ ජෙනිෆර් කෙන්ඩාල් සමගය. ඇය ඉංග‍්‍රීසි ජාතික නිළියකි. ඔවුන් දෙදෙනා හමු වූයේ ශෂී ද ඉංග‍්‍රීසි චිත‍්‍රපටවල රඟපෑ බැවිනි. හීට් ඇන්ඞ් ඩස්ට් බොම්බේ ටෝකීස් ඔවුන් දෙදෙනා එකට රඟපෑහ. සන්ජනා කපූර්, කරන් කපූර් සහ කුනාල් කපූර් ඔවුන්ගේ දරුවන් තිදෙනාය. සිනමා ක්ෂේත‍්‍රයේ විවාහ ජීවිතවලට වැඩි ආයුෂ නැති නමුත් ශෂී සහ ජෙනිෆර් ගත කළේ ආදර්ශමත් සහ ප‍්‍රීතිමත් විවාහ ජීවිතයකි. එය කෙළවර වුයේ 1984 දී ඇය මිය යාමෙන් පසුවය. ඒ වනවිට ඔවුන් අවුරුදු 26ක යුග දිවියක් ගෙවා තිබිණි.

‘ශෂී කපූර් වගේ මහා නළුවෝ ළඟ අපිට අවස්ථා ලැබුණෙ අඩුවෙන්.

වරක් අමිතාබ් බච්චන් එසේ ප‍්‍රකාශ කර තිබුණේ ශෂීට කරන ප‍්‍රශංසාවක් වශයෙනි.

ඛේදජනක මරණයක් උරුම වෙන්නට ගිය ශෂී එයින් බේරා ගනු ලැබුවේද අමිතාබ් බච්චන් විසිනි. මුම්බායිහි පැවති එක්තරා සංදර්ශනයකට ශෂීට රෝද පුටුවෙන් යන්නට සිදුවුයේ කකුලක් කැඞී තිබු බැවිනි. සංදර්ශනය අතරතුර ශාලාවේ ගින්නක් ඇති වූයේය. සියල්ලන්ම සිය ජීවිතය බේරා ගන්නට දිව ගියා මිස කිසිම කෙනෙකු ශෂී කෙරෙහි අවධානය යොමු කළේ නැත. ඔහු උදව් ඉල්ලා කෑ ගසද්දී දිව ආ අමිතාබ් බච්චන් වහා රෝද පුටුව තල්ලූ කරගෙන එළියට ගියේය. එසේ නොවීනම් ඔහු මියගොස් සෑහෙන කලක් ගත වෙන්නට ඉඩ තිබිණි.

අමිතාබ්, ෂාරුක් ඛාන් ඇතුළු ජනප‍්‍රිය නළු නිළියන් රැසක් ශෂී කපූර්ගේ අවමඟුලට සහභාගි වූහ.

 

2017-12-12-ent-16 2017-12-12-ent-15 2017-12-12-ent-14