බොබී ගේ සිනමා ජීවිතයට අවුරුදු 25 යි
මේ මෑතකදී බොබී ඩියෝල් සිය සිනමා ජීවිතයේ 25 වැනි වසර සම්පූර්ණ කළේය. ඔහු සිනමාවට පිවිසියේ 1995 දී ට්වින්කල් ඛන්නා සමඟ බර්සාත් චිත්‍රපටියේ රඟ පාමිනි. සිය මංගල චිත්‍රපටිය පිළිබඳව බොබී ඩියෝල් කතා කළේ තෘප්තියෙන් යුතුවය.
“සිනමා පවුලකින් ආව මට කිසිම පීඩනයක් තිබුණෙ නෑ.. ඒත මගේ පවුල ආඩම්බරයට පත් වෙන විදියට මහන්සි වෙලා රඟ පාන්න ඕන කියන හැඟීම මට තදින් දැනුණා..”
පසු ගියදා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් බොබී පැවසුවේය. බර්සාත් හි තිර කතාව වරින්වර වෙනස් කරන්නට සිදු වූ බව ද ඔහු පිළි ගත්තේය. එම නිසාම එය අවුරුදු දෙකක් වැනි දිගු කාලයක් තිස්සේ රූගත කරන්නට සිදු වී තිබිණි. එහෙත් අවසන් ප්‍රතිඵලය බොහෝ සතුටුදායක වූ බැව් ඔහු පැවසීය.
බර්සාත් අධ්‍යක්ෂණය කරන්නට නියමිතව සිටියේ ප්‍රවීන අධ්යක්ෂ ශේඛර් කපූර්ය. දවස් විසි හතක් රූගත කිරීමෙන් පසුව ඔහු ඉන් ඉවත් වූයේ හොලිවුඞ් නිර්මාණයක් වූ බැන්ඩිට් ක්වීන් අධ්‍යක්ෂණය කරන්නට ඔහුට පැවරුණ බැවිනි. බැන්ඩිට් ක්වීන් බොහෝ සෙයින් අවධානය යොමු කළ යුතු දැවැන්ත නිෂ්පාදනයක් වූ නිසා බර්සාත් හි වගකීම දරන්නට ඔහු මැලි වූයේය. එහි ඊ ළඟ අධ්යක්ෂවරයා වූයේ රාජ්කුමාර් සන්තෝෂිය. ඔහු සමඟ වැඩ කිරීමෙන් ලද අත්දැකීම් සිය ඉදිරි සිනමා ජීවිතයට ප්‍රයෝජනවත් වූ ආකාරය ගැන ද බොබී කතා කළේය.
අවුරුදු විසි පහක සිනමා ජීවිතය තුළ සොම්නස හා දොම්නස සමසමව පැවති බැව් බොබී කියන්නේය. කාලයක් සිනමාවෙන් ඈත් වී සිටි එහු නැවතත් පැමිණියේ අභියෝගාත්මක චිත්‍රපටිවල රඟ පෑම අරමුණු කරගෙනය. පෝස්ටර් බෝයිස්, රේස් 3, හවුස්ෆුල් 4 වැනි චිත්‍රපටිවල නිරූපණය කළ චරිතවලින් ඒ අරමුණ ඉටු වූයේදැයි ඔහු සඳහන් කර තිබුණේ නැත. මේ මෑතකදී ඔහු රඟ පෑවේ බොහෝ කතාබහට ලක් වූ ආශ්රම් චිත්රපටියේය.
චන්දි කොඩිකාර