පොතට පෙම්බැඳි නිළිය - සරීන් ඛාන්
“මගේ විනෝදාංශය පොත් කියවන එක.. මගෙ ළඟ හොඳ වටිනා පොත් එකතුවක් තියෙනවා.. පොතක් රසවත් නම් මම ඒක බිම තියන්නෙ සම්පූර්ණයෙන්ම කියවලා ඉවර කරලා තමයි.. කවුරුවත් දන්නෙ නෑ මම පොත් කියවන්න ඒ තරම්ම ආසයි කියලා..”
එසේ කියන්නේ සරීන් ඛාන්ය.
කාර්යබහුලව සිටි බොහෝ නළුනිළියෝ මේ වසංගත සමයේ නිවසටම කොටු වී සිටියදී තමාට මඟ හැරුණ විනෝදාංශවලට අවධානය යොමු කරන්නට පටන් ගත්හ. පොත් කියැවීම, ඉවුම්පිහුම්, චිත්‍ර ඇඳීම, ගෙවතු වගාව, අලුත් භාෂාවක් ඉගෙන ගැනීම ඒ අතර විණි. සරීන් ඛාන් වහාම යොමු වූයේ සිය ප්‍රියතම විනෝදාංශය වන පොත් කියැවීමටය.
“හුඟක් දෙනෙක් හිතාගෙන ඉන්නෙ මම පොත් කියවන කෙනෙක් නෙමෙයි කියලා.. පොතක් ගැන කතා කරනකොට සමහරු කියනවා අයියෝ.. ඔයා පොත් කියවන කෙනෙක් විදියට පේන්නේ නෑනෙ කියලා.. මං දන්නෙ නෑ කියවන අයගෙ මූණෙ ඒක ලියවිලා තියෙනව ද කියලා.. කොහොම වුණත් මං පොත්වලට ඇබ්බැහි වෙලා ඉන්න තරම ගැන මගේ ළඟම නෑහිතවත්තු දන්නවා.. මම ආදර කතා, වෙනත් නවකතා විතරක් නෙමෙයි විවිධ මාතෘකා ඔස්සේ ලියවුණ පොත් කියවන්න හරි ආසයි.. විශේෂයෙන්ම දර්ශනය, විද්‍යාව ගැන ලියවුණ පොත් මම නිතරම කියවනවා..” ඇය කියන්නීය.
එසේ වුවත් සිය ප්‍රියතම ලේඛකයා පාවුලෝ කොයියෝ බැව් ඇය වරක් සඳහන් කර තිබිණි.
සරීන් ඛාන් 1987 මැයි මාසයේ 14 දා මහා රාෂ්ට්‍රයේ උපත ලද්දීය. නිරූපිකාවක ලෙස වෘත්තීය ජිවිතය ඇරඹූ ඇය බොලිවුඞ් ක්ෂේත්රයට පා තැබුවේ 2010 දීය. ඒ අනිල් ශර්මා ගේ වීර් චිත්‍රපටියේ සල්මන් ඛාන් සමඟ රඟපාමිනි. ඒ රඟපෑම වෙනුවෙන් ඇය සී සිනේ සම්මාන උළෙලේ හොඳම නවක නිළිය සම්මානයට නිර්දේශ වූවාය. ඉන් පසු රෙඩි, හවුස්ෆුල් 2, ජැට් ජේම්ස් බොන්ඞ් චිත්රපටිවලත් රඟ පෑ ඇය සාර්ථක නිළියක ලෙස බොලිවුඩයේ සිය ස්ථානය තහවුරු කර ගත්තාය. හේට් ස්ටෝරි 3 චිත්‍රපටියෙන් වඩාත් ජනප්‍රිය වූ සරීන් දෙමළ සහ තෙළිඟු චිත්‍රපටිවල ද රඟ පා තිබේ. හින්දි, උර්දු, ඉංග්‍රිසි, මරාති භාෂා කතා කිරීමට ඇයට පුළුවන. ඇය මී ළඟට දකින්නට හැකි වන්නේ හම් භි අකේලේ තුම් භි අකේලේ චිත්‍රපටියෙනි.
මුල් කාලයේ සරීන් ඛාන් තරබාරු සිරුරකට හිමිකම් කීවාය. ඇය තුළ කවදාවත් නිළියක වීමේ අදහසක් තිබුණේ නැත. එම නිසා ඇය තරබාරුකම අඩු කර ගැනීමට උත්සාහ නොකළාය. ඇගේ අනාගත අපේක්ෂාව වූයේ වෛද්‍යවරියක වීමය. එහෙත් ආර්ථික අපහසුතා නිසා එම සිහිනයට සමු දෙන්නට ඇයට සිදු වූයේය.
නිරූපිකාවක වීමේ අදහස ඇගේ සිතට නැගුණේ ඉන් ටික කලකට පසුවය. ඇය කිලෝ සියයක් වූ සිය බර අඩු කර ගන්නට වෙහෙස නොබලා ක්‍රියා කළාය. නිසි පරිදි ව්‍යායාම කිරීම සහ ආහාර පාලනය තුළින් කිලෝ 40ක් බර අඩු කරගෙන හැඩැති සිරුරකට උරුමකම් කියන්නට ඇයට හැකි වූයේය. 2008 දී ඇය සල්මන් රඟ පෑ යුව්රාජ් චිත්‍රපටියේ රූගත කිරීම් නරඹන්නට ගියාය. ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ ඒ ගමනය. සල්මන් ගේ අවධානයට පාත්‍ර වූ ඇය වීර් චිත්‍රපටියේ යශෝදරාගේ චරිතය සඳහා තෝරා ගනු ලැබිණි. ඒ සඳහා නැවතත් කිලෝ අටකින් බර වැඩි කර ගන්නට ඇයට සිදු විණි.
මේ අතර ඇයට බර අඩු කර ගැනීමට භාවිතා කරන බෙහෙත් පෙත්තක් පිළිබඳ වෙළෙඳ දැන්වීමකට පෙනී සිටින්නට ආරාධනාවක් ලැබිණි. අදාළ සමාගම ඒ සඳහා රුපියල් කෝටියක් ගෙවන්නට එකඟත්වය පළ කළත් ඇය එකහෙළාම එය ප්‍රතික්ෂේප කළාය.
“මම බර අඩු කර ගත්තෙ පෙති බීලා නෙමෙයි හුඟක් මහන්සි වෙලා.. කැප වෙලා.. එහෙම තියෙද්දී මේ වගේ ලේසි ක්‍රමවලින් බර අඩු කර ගත්තා කියලා අනිත් අයට බොරු කියන්න මට ඕනකමක් නෑ.. අනිත් එක ජීවිතයේ කිසිම දෙයක් ඒ වගේ පහසු මාර්ගවලින් ලබා ගන්න බෑ..” ඇය තරයේම කීවාය.
ඒ ප්‍රතිපත්තිගරුක බව වෙනුවෙන් ඇය බොහෝ ප්‍රශංසා ලැබුවාය.
ඇය රඟ පාන හම් භි අකේලේ, තුම් භි අකේලේ චිත්‍රපටිය සමලිංගික ඇසුර ගැන කියැවෙන්නකි. එම නිසාම මේ චරිතය බාර ගන්නට බොහෝ නිළියන් පැකිළෙද්දී සරීන් එඩිතරව එයට ඉදිරිපත් වූවාය.
“එයත් ඒ වගේ කෙනෙක් හින්දා වෙන්න ඇති චරිතය බාර ගන්න ඇත්තෙ..”
ක්ෂේත්රය තුළ එවන් කටකතා ද පැතිර ගියේය. ඇය මේ වන තුරුත් අවිවාහකව සිටීම ද එම කටකතාවලට බලපෑවේය. එහෙත් ඇය ඒවා ප්රත්ක්ෂේප කරන්නීය.
“මේ කාලෙ විවාහය කියන්නෙ විහිළුවක් වගේ දෙයක්.. කාලයක් තිස්සේ ආදරය කරලා විවාහ වෙන හුඟක් දෙනෙක් මාස හයක් යන්නත් ඉස්සර වෙන් වෙනවා.. මට එහෙම විවාහයක් වුවමනා නෑ.. මම කැමති විවාහයෙන් පස්සෙ අපේ ආච්චිලා සීයලා වාගෙ සදාකාලික බැඳීමකින් ජීවත් වෙන්න.. ඒ හින්දා මම විවාහය ගැන තීරණයක් ගන්නෙ හුඟක් කල්පනා කරලා.. අනිත් එක විවාහය කියන්නෙ ඉතාම පෞද්ගලික දෙයක්.. මගේ විවාහය ගැන මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරන්න මට ඕනකමක් නෑ..” ඇය කියන්නීය.
චන්දි කොඩිකාර