පිළිකාවකට පැරදුණ විනෝද් ඛන්නා
”ඇත්තටම මම කතා කරන්නෙ හුඟක් තරහින්. අභිෂේක් බච්චනුයි රන්දිප් හූඩායි ඇරෙන්න කිසිම නළුවෙක් නිළියක් මේ ප්‍රවීන නළුවට අවසන් ගෞරව දක්වන්න ඇවිත් හිටියෙ නෑ. දශක හතරක් තිස්සෙ ක්ෂේත්රයේ රැුඳිලා හිටිය චිත්‍රපටි 150ක විතර රඟපෑව මනුස්සයෙකුට එහෙමද සලකන්නෙ....? එයත් එක්ක රඟපෑව අයවත් අවමඟුල් උත්සවයට ආවෙ නැති එක ලැජ්ජාවට හේතුවක්...”
ඔහු පැවැසුවේ කළකිරීමෙනි.
”ඇත්තටම මම මීට වැඩිය ලොකු පිරිසක් බලාපොරොත්තු වුණා. ඒත් හුඟක් දෙනෙකුට මෝස්තර පෙළපාළි අවමඟුල් උත්සවයට වැඩිය වැදගත් වෙලා කියලයි මං හිතන්නෙ. විනෝද් ඛන්නා එක්ක රඟපෑව නිළියෝ එක්කෙනෙක්වත් ඇවිත් හිටියෙ නෑ... අපේ පරම්පරාවෙ නළුවන් හිටියෙත් කීප දෙනෙක් විතරයි.
විනෝද් ඛන්නාගේ අවමඟුල සිදුවූ දිනයේ රිෂි කපූර් විසින් ට්වීටර් පණිවිඩ ගණනාවක්ම නිකුත් කර තිබිණි.
”මම මැරුණට පස්සෙත් සිද්ධ වෙන්නෙ ඔය දේම තමයි. මම දැන්මම ඒකට ලෑස්ති වෙලා ඉන්න ඕන....”
එක් පණිවිඩයක සඳහන්ව තිබුණේ එලෙසය.
”විනෝද් ඛන්නා හුඟක් කාලයක් ක්ෂේත්රයෙන් අයින් වෙලා හිටියා නම් හැමෝටම අමතක වෙලා කියන්න ඉඩ තිබුණා. ඒත් ඔහු රඟ පෑව දිල්වාලේ චිත්‍රපටය ප්‍රදර්ශනය වුණේ 2015දී. ඒක් ථි රාණි ඇයිෂි භි 2017 දී. ඉතින් කොහොමද එයාව අමතක වෙන්නෙ...? අනිත් එක ඔහුගෙ පුතුන් දෙන්නා ආක්ෂය ඛන්නා, රාහුල් ඛන්නා දෙන්නම නළුවෝ. ඔහුගේ දෙවෙනි විවාහයේ පුතා සාක්ෂි ක්ෂේත්රයට එක් වෙන්න ලෑස්ති වෙලා ඉන්නෙ. මෙහෙම තියෙද්දිත් තරුණ පරපුර ඇයි එහෙම කළේ...? තව කෙනෙකුගෙ දුකක් බෙදා හදාගන්න එක මිනිස් ගතියක් කියල අමතක වුණාද...?” රිෂි කපූර් අසන්නේය.
විනෝද් ඛන්නා සමඟ රිදී තිරය බෙදා හදා ගත් ෂාරුක් ඛාන්, වරුත්, ධාවානි, සල්මන් ඛාන්, සෝනු වැන්නවුන්වත් අවමඟුල් උත්සවයට සහභාගිවී සිටියේ නැත.
”නළු නිළියො විතරක් නෙමෙයි නිෂ්පාදකවරු, අධ්යක්ෂවරු, නිෂ්පාදකයො හිටියෙත් නෑ. ෆෙරෝස් ඛාන්ගෙ, රාජේෂ් ඛන්නගෙ අවමඟුල්වලදි සිද්ධ වුණෙත් ඒ දේමයි...” ඔහු කියන්නේය.
”හැබැයි රන්බීර් කපූර් ඇවිත් හිටියෙත් නෑ... ඒක ගැන මොකද කියන්නෙ...?”
රිෂි කපූර්ගේ ට්විටර් පණිවිඩ කියැවූ සමහරු එසේ අසා තිබිණි.
”රන්බීර් රටෙන් පිට ගිහින් හිටියෙ. එහෙම නොවුණා නම් ඔහු සහභාගි වෙනවා කියල මට සීයට සීයක්ම විශ්වාසයි.” රිෂි කපූර් පිළිතුරු දුන්නේය. විනෝද් ඛන්නා මිය ගියේ මුත්‍රාශයේ පිළිකාවක් හේතුවෙනි. පසුගිය දිනවල ඔහු රෝහල් ගත කර තිබුණේ විජලනය හේතුවෙනි. ඔහුගේ පිළිකා රෝගී තත්ත්වය ගැන පවුලේ අය කාටවත්ම හෙළි කළේ නැත.
1946 ඔක්තෝබර් 6 දා උපන් විනෝද් ඛන්නා මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 70කි. 1968 දී සිනමා ක්ෂේත්රයට එක් වූ ඔහු චිත්‍රපටි 141 කට වැඩි ප්‍රමාණයක රඟ පා තිබේ. මෙරා අප්නේ, මෙරා ගාඞ්න්, මෙරා දේශ්, ඉම්තිහාන්, ඉත්කාර්, අමර් අක්බාර් ඇන්තනි, කුර්බානි, දයාවාන්, ලාහුකේ දෝ රනිග් ආදිය මතකයෙන් නොගිලිහෙන චිත්‍රපටි කිහිපයකි.
ඔහු ක්ෂේත්රයට පිවිසියේ දුෂ්ටයාගේ චරිතය රඟපාමිනි. එහෙත් පසුව වීරයාගේ චරිතයට අවතීර්ණ වීමට ඉඩ ලැබිණි. කඩවසම් නළුවෙකු ලෙස නම් දරා සිටි ඔහු අමිතාබ් භච්චන් සමඟ කරට කර රඟපෑවේය. එහෙත් අමිතාබ් ඉක්මවන්නට ඔහුට නොහැකි වූයේ ඔහුගේ සිත ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වීම නිසාය
”මට සල්ලි, කීර්තිය ඇතුළු හුඟක් දේවල් චිත්‍රපටි ක්ෂේත්‍රයේදි ලැබුණා. ඒත් මම හැම වෙලාවෙම හිතුවෙ ජීවිතේ කියන්නෙ මෙච්චරද කියලා. ඉතින් මම අධ්‍යාත්මික පැත්තට නැඹුරු වුණා. මම පූනේවල තිබුණ ඕෂෝ ආශ්රමයට යන්න පුරුදු වුණා. චිත්‍රපටිවල වැඩ පවා පාඩු කරගෙන මම හැම සති අන්තෙකම ආශ්රමයට ගියා. ඒ ජීවිතයට මගෙ හිත බැඳුණා. මගේ වෘත්තීය ජීවිතයේ ඉහළින්ම හිිටිය කාලෙ මම ක්ෂේත්රයෙන් අයින් වෙන්න තීරණය කළේ. ඒක කවුරුවත් විශ්වාස කළෙත් නෑ. 1975 දෙසැම්බර් 31 දා මම ක්ෂේත්රයෙන් සමු ගත්තා...”
මින් වසර ගණනාවකට ඉහත පැවැත්වුණ සම්මුඛ සාකච්ඡුාවකදී ඔහු සඳහන් කර තිබිණි.
ඒ වනවිට ඔහු විවාහවී සිටියේ උසස් අධ්‍යාපනය ලබන කාලයේදී පටන් හැඳිනගෙන සිටි ගීතාංජලී සමඟය. ඔවුන්ට ආක්ෂය සහ රාහුල් පුතුන් දෙදෙනාද සිටියහ. එහෙත් මේ සියල්ලටම වඩා ඔහුට ආධ්‍යාත්මික ජීවිතයක් ගත කිරීම වැදගත් වූයේය.
” ඕෂෝ යනුවෙන් හැඳින්වෙන රාජ්නීෂ්ගෙ අදහස්වලට මම හුඟාක් ගරු කළා. ඒ හින්දම මම ඇමෙරිකාවේ ඔහු ගොඩනඟපු රාජ්භීෂ් පුරම් නගරයට ගියා. ඒකෙ නතර වෙන්න අවසර ලැබුණ ඉන්දියානුවන් කීප දෙනා අතරෙ මාත් හිටියා. මම අවුරුදු හතරක්ම ආශ්‍රමයෙ ගත කළා. ඕෂෝගේ උයන්පල්ලා වුණේ මම. වැසිකිලි හේදුවේ මම. ඕෂෝ ඇඳලා අයින් කරන ඇඳුම් ඇන්දෙත් මම. අපි දෙන්නම එකම ශරීර ප්‍රමාණයක් තිබුණ අය...” ඔහු කියා තිබිණි.
අවුරුදු හතරකට පසුව ඔහු ආපසු බොලිවුඩයට ගොස් චිත්‍රපටිවලට එක් වූයේය. ඒ වනවිට ඔහුගේ පවුල් ජීවිතය දෙදරා ගොස් තිබිණි. ගීතාංජලී ඔහුගෙන් දික්කසාද වූවාය.
”මගේ ගුරු ඕෂෝ ආපහු මට එන්න කියලා කිව්වා. ඒත් මම ඒකට කැමැති වුණේ නෑ. ඇත්තටම ආශ්රමයට නොයා ඉන්න ගත්ත තීරණේ වගේ දුෂ්කර තීරණයක් මම ජීවිතේ කවදාවත් අරගෙන නෑ.” ඔහු එදා පැවැසුවේය.
1990 දී විනෝද් ඛන්නා නැවත වරක් විවාහ වූයේය. ඒ කර්මාන්ත හිමිකාරිනියක වන කවිතා සමඟය. ඒ විවාහයෙන් ඔහුට පුතෙකු සහ දුවෙකු ලැබුණේය.
දේශපාලනයටද බට ඔහු 1997 දී භාරතීය ජනතා පක්ෂයේ මන්තී‍්‍රවරයකු ලෙස පාර්ලිමේන්තුවටද පිවිසියේය.
චන්දි කොඩිකාර