ප්‍රභාස් ගේ ලැම්බෝගිනිය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දකුණු ඉන්දියානු සුපිරිතරුව ප්‍රභාස් විසින් රුපියල් කෝටි හයකට මිළ දී ගන්නා ලද සුඛෝපභෝගී ලැම්බෝගිනි මෝටර් රථය පිළිබඳ පුවත මේ වන විට රසිකයන් කුල්මත් කර තිබේ. ඔහු එම කාරය මිළ දී ගෙන තිබුණේ මිය ගිය සිය පියාගේ ජන්ම දින සංවත්සරය වෙනුවෙනි. ඔහු බොහෝ ආඩම්බරයෙන් එම දීප්තිමත් තැඹිලි පැහැති කාරයේ ආවරණය ඉවත් කර හයිද්‍රාබාද්හි වීදි දිගේ රාත්‍රියේ එය පදවාගෙන යන දර්ශනය සහිත වීඩියෝවක් මේ දිනවල වේගයෙන් අන්තර්ජාලයේ සංසරණය වෙමින් පවතියි. රසිකයන් ඔහුට සුබ පතා ඇතුවා පමණක් නොව ප්‍රවේශමින් රිය පදවන ලෙස අවවාද ද කර ඇත. සමහරු කියන්නේ ඔහු එම කාරය මිළ දී ගෙන ඇත්තේ පුරාජේරුවට බවය. ඉන්දියානු සිනමාවේ වැඩිම ගෙවීමක් ලබන නළුවන් අතර සිටින, තෙළිගු සිනමාවේ වැඩිම ගෙවීමක් ලබන නළුවා වන  ඔහුට මෙවන් කාරයක් මිළ දී ගැනීම කජ්ජක්දැයි සමහරු අසති. ඔහුගේ වාහන එකතුවේ රෝල්ස්රොයිස් ෆැන්ටම්, ජගුවර් එක්ස් ජේ සහ බී එම් ඩබ්ලිව් එක්ස් 5 ද තිබේ. 
ක්ෂත්‍රිය වංශිකයෙකු වන ප්‍රභාස්ට ඇත්තේ දිගම දිග නමකි. උප්පලපති වෙන්කට සූර්යනාරායන ප්‍රභාස් රාජු ලෙසින් කියවන්නට අසීරු නිසාම ඔහු ජනප්‍රිය වී ඇත්තේ ප්‍රභාස් ලෙසිනි. 
ඔහු වැඩිපුරම දකින්නට ලැබෙන්නේ තෙළිඟු චිත්‍රපටිවලය. ජනප්‍රියත්වය සහ ආදායම පදනම් කරගෙන සැකසෙන ෆෝර්බ්ස් ඉන්දියා 100 ලැයිස්තුවේ 2015 සිට මේ දක්වා ඔහු ගේ නම තුන් වරක්ම සඳහන් වී තිබිණි. ඔහු දකුණු ඉන්දියානු ෆිල්ම් ෆෙයාර් සම්මානය සත් වරක්ම දිනාගෙන තිබේ. තවත් සම්මාන ගණනාවකටම හිමිකම් කියන ඔහු සිනමාවට පිවිසියේ ඊශ්වර් නම් තෙළීඟු චිත්‍රපටියේ රඟපාමිනි. ඉනික්බිතිව රාගවේන්ද්‍ර, වර්ෂම්, චත්‍රපති, යෝගි, මුන්නා, ඩාර්ලින්, සාහෝ ඇතුළු චිත්‍රපටි රැසක රඟ පා තිබේ. ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස බාහුබලී චිත්‍රපටිය හැඳින්විය හැකිය. එම චිත්‍රපටිය තුළින් ඔහු දැක්වූ රංගන ප්‍රතිභාව මොන තරම්දැයි කිවහොත් ඔහු බාහුබලී ප්‍රභාස් ලෙසින් හැඳින්වන්නට පටන් ගත්තේය. 
ඔහු ඉපදුණේ 1979 ඔක්තෝබර් 23 දාය. චිත්‍රපටි නිෂ්පාදක උප්පලපති සූරියනාරායන රාජු සහ ශිව කුමාරි ඔහුගේ දෙමව්පියන්ය. ඔහුගේ අයියා ප්‍රමෝද්ය. අක්කා ප්‍රගතිය. ඔහුට සිනමාවට එන්නට ආදර්ශය සැපයුවේ බාප්පා වන ජනප්‍රිය තෙළිඟු නළු උප්පලපති ක්‍රිෂ්ණම් රාජු විසිනි.  
ඔහු ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම ගෙන ආ බාහුබලී චිත්‍රපටිය සඳහා ඔහු අය කළ මුදල රුපියල් කෝටි 24කි. එම චිත්‍රපටියේ නිෂ්පාදන වියදම කෝටි 180ක් වන අතර ආදායම කෝටි 650කි.  බාහුබලී 2 චිත්‍රපටියේ නිෂ්පාදන වියදම කෝටි 250 ක් වු අතර කෝටි 1810 ක ආදායමක් ලබමින් ලෝකය පුරාම ප්‍රදර්ශනය වූවේය. ඔවුන් බලාපොරාත්තුවෙන් සිටියේ කෝටි 1500කි. බාහුබලී දෙවන චිත්‍රපටිය නිෂ්පාදනය කෙරෙන සමයේ ප්‍රභාස් චිත්‍රපටියක් සඳහා අය කරන මුදල කෝටි තිහක් වී තිබුණත් ඔහු එහි කෝටි 25කට රඟ පාන්නට එකඟ වී තිබිණි. 
බාහුබලී චිත්‍රපටි නිෂ්පාදනය සඳහා අවුරුදු පහක් ගත වූ අතර ඒ වෙනුවෙන් බොහෝ කැප කිරීම් කරන්නට ප්‍රභාස්ට සිදු වූයේය. ඒ වෙනුවෙන් සිරුර හැඩ ගන්වා ගැනීම සඳහා ව්‍යායාම උපකරණවලට ඔහු වියදම් කළ මුදල රුපියල් කෝටි එක හමාරකි. ඔහුගේ උපදේශකයා වූයේ 2010 මිස්ටර් වර්ල්ඞ් බවට පත් වූ ලක්ෂ්මන් රෙඞ්ඩිය. 
බාහුබලී චිත්‍රපටියෙන් ලැබුණ ජනප්‍රියත්වයත් සමඟ ඔහුට ලැබුණ මංගල යෝජනා ප්‍රමාණය 5000කටත් අධිකය. එහෙත් ප්‍රභාස් තවමත් අවිවාහකය. 2009 අනුෂ්කා ෂෙට්ටි සමඟ රඟ පෑමෙන් පසුව ඔවුන් දෙදෙනාගේ සම්බන්ධයක් ඇතැයි ප්‍රචලිත වෙන්නට පටන් ගත්තේය. ඔවුන් දෙදෙනා විවාහ වෙන්නට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් ලොස් ඇන්ජලීස්හි නිවසක් පවා මිළ දී ගත් බවත් කටකතාවලින් කියැවිණි. එහෙත් ඔවුහු දෙදෙනාම ඒවා ප්‍රතික්ෂේප කළහ. 
“අපි දෙන්නා හොඳ යාළුවෝ විතරයි.. අපි තිරයේ ඉතා හොඳින් ගැලපෙන යුවළක් හින්දා සැබෑ ජිවිතයේදිත් එහෙමම වෙයි කියල හුඟක් දෙනෙක් බලාපොරොත්තු වුණා.. ඒවා කඩ කරන්න සිදු වීම ගැන කණගාටුයි..” ඇය කීවාය. 
“මගේ විවාහය ගැන මගේ පවුලේ අයටත් වඩා උනන්දුව තියෙන්නෙ මාධ්‍යවලට..”
ප්‍රභාස් වරෙක ඇනුම් පදයක හඬින් පැවසුවේය. 
ඔහු චිරංජීවිගේ ඥාති දියණිය වන නිධාරිකා සමඟ විවාහයට සූදානම් වන බවට ද කටකතාවක් පැතිර තිබිණි. 
“මම විවාහ වෙනවා.. ඒත් ඒ කවද ද කියලා කියන්න බෑ..”
ප්‍රභාස් පැවසුවේය. 
“අපේ පවුල ලොකු පවුලක්.. ඒ වගේම පවුලේ සමාජිකයන් එකිනෙකාට හුඟක් ලැදියි.. ඒ හින්දම අපි බලාපොරොත්තු වෙන්නෙ අපිත් එක්ක ඒ බැඳීම පවත්වාගෙන යන්න පුළුවන් විදියෙ කෙනෙක්..”
ඔහුගේ බාප්පා වන ක්‍රිෂ්ණම් රාජු ගේ බිරිඳ වරක් ප්‍රකාශ කර තිබිණි. 
තමා කෑමට ඉතාම ගිජු අයෙකු බැව් ප්‍රභාස් සම්මුඛ සාකච්ඡා ගණනාවකම සඳහන් කර තිබිණි. බිරියානි, බටර් යෙදූ කුකුළු මස් හැම විටම ඔහුගේ ආහාර ලැයිස්තුවේ තිබේ. ආහාරවලට ඇති කැමැත්ත නිසාම තමා නළුවෙකු නොවුණා නම් හෝටල් හිමියෙකු වීමට ඉඩ තිබු බැව් ඔහු කීවේය. 
රාධේ ශ්‍යාම්, ආදි පුරුෂ්, සලාර් චිත්‍රපටි තුළින් මී ළඟට ඔහු දැකිය හැකි වනු ඇත. 

චන්දි කොඩිකාර

20210413Prabas (1) 20210413Prabas (2) 20210413Prabas (3)