නොවැම්බරයේ කළඑළි බසින 'බොලිවුඩ් තරු'
2018 වසර අවසන් වීමට ඇත්තේ තවත් මාස දෙකක කාලයක් පමණි. මෙම වසර බොලිවුඩ් සිනමාවට සුවිශේෂී වූ වසරක් වූ බව නොකිවමනාය. මෙතෙක් එළිදැක්වූ චිත්‍රපට අතරින් බොහෝ ප්‍රමාණයක් සාර්ථකව තිරගත වෙමින් මූල්‍ය වාර්තා තැබීමට අවස්ථාව උදාවූ බව බොහෝ දෙනා දන්නා කරුණකි. මෙම ඉතිරිව ඇති කාලය තුළ එළිදැක්වීමට නියමිත චිත්‍රපට සංඛ්‍යාව 17කි. බොලිවුඩ් සිනමා නිර්මාණ ඔස්සේ මෙම කාලය තුළදී අලුත් මුහුණු කිහිපයක් දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඉදිරියේදී එළිදැක්වීමට නියමිත චිත්‍රපට අතරින් ඇතැම් චිත්‍රපට සඳහා නවක රංගන ශිල්පීහු දායක වෙති. ඔවුන් සිනමාවට නවකයන් නොවුණද, ඔවුන් එතරම් සාර්ථක රංගන ශිල්පීන් නොවන බව ඉන්දීය චිත්‍රපට විචාරකයෝ පවසති. එළිදැක්වීමට ඇති චිත්‍රපට අතරින් ඇතැම් චිත්‍රපට බොලිවුඩ් සිනමාව උඩුයටිකුරු කිරීමට හැකියාව ඇතැයි බොහෝ දෙනාගේ මතය වී තිබේ.
නොවැම්බර් මස 02 වැනිදා එළිදැක්වීමට නියමිත චිත්‍රපටයක් වන ‘Lupt’ චිත්‍රපට ඔස්සේ නවක රංගන ශිල්පිනියක දැක ගැනීමේ හැකියාව තිබේ. ඇය නමින් මීනාක්ෂි දික්සිට් වෙයි. ඇය සිනමාවට පිවිසෙනුයේ 2010 වසරේදී තිරගත වූ ‘Alexander the Great’ නම් මලයාලම් චිත්‍රපටය ඔස්සේය. ඉන් පසු ඇය රංගනයෙන් දායක වන්නේ දමිළ චිත්‍රපටයක් සඳහාය. ඒ 2010 වසරේදී තිරගත වූ ‘Virudhagiri’ නම් චිත්‍රපටය සඳහාය. 2011 සිට සිනමා නිළියක ලෙස කටයුතු ආරම්භ කළ ඇය වැඩි වශයෙන් රංගනයෙන් දායක වූයේ දමිළ, තෙළිඟු සහ මලයාලම් චිත්‍රපට සඳහාය. 2011 වසරේදී ඇය තෙළිඟු චිත්‍රපටයක් වන ‘Dookudu’ නම් චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වූ අතර, 2012 වසරේදී ඇයට චිත්‍රපට තුනක් සඳහා රංගන අවස්ථා හිමි විය. 2013 වසරේදී ‘Baadshah’ චිත්‍රපටයටද, 2014 දී ‘Tenaliraman’ සහ ‘Adavi Kaachina Vennela’ චිත්‍රපටයටද ඇය රංගනයෙන් දායක විය. ඇය 2015 වසරේදී සිය පළමු හින්දි සිනමා නිර්මාණය සඳහා රංගනයෙන් දායක වූවාය. ඒ ‘P Se PM tak’ නම් චිත්‍රපටයටය. ඉන් පසු 2016 චිත්‍රපට තුනක් සඳහා රංගනයෙන් දායක වූ අතර, ඇය නැවත සිනමා නිර්මාණයක් ඔස්සේ දැක ගැනීමට හැකියාව ඇත්තේ ලබන මස එළිදැක්වීමට නියමිත ‘Lupt’ නම් චිත්‍රපටය ඔස්සේය.
නිරූපිකාවක ලෙස සුප්‍රසිද්ධියට පත් සොනාල් චෞහාන් නොවැම්බර් 02 වැනිදා එළිදැක්වීමට නියමිත ‘Jack and Dil’ චිත්‍රපටය ඔස්සේ දැකබලා ගැනීමට හැකියාව ඇත. 2008 වසරේ තිරගත වූ ‘Jannat’ චිත්‍රපටය ඔස්සේ සිනමාවට පිවිසි ඇය, එම වසරේදීම තෙළිඟු සිනමා නිර්මාණයක් සඳහා රංගනයෙන් දායක වූවාය. ඉන් පසු ඇය නැවත සිනමා නිර්මාණයක් ඔස්සේ දැක බලා ගැනීමට හැකියාව ලැබුණේ 2010 වසරේදී තිරගත වූ ‘Cheluveye Ninne Nodalu’ නම් චිත්‍රපටය ඔස්සේය. 2011 වසරේ සහ 2012 වසරේදී ඇය චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වුවද, ඇය සිනමා නිළියක ලෙස ප්‍රසිද්ධියට පත් නොවීය. කෙසේ වුවද, 2013 වසරේ තිරගත වූ ‘3G’ චිත්‍රපටය ඔස්සේ ඇය බොහෝ දෙනා අතර ජනප්‍රිය චරිතයක් විය. ඒ එම චිත්‍රපටයද වාර්තා අතරට පැමිණි චිත්‍රපටයක් වීම හේතුවෙනි. 2014 වසරේදී එක් චිත්‍රපටයකට, 2015 වසරේදී චිත්‍රපට හතරකට, 2016 වසරේදී එක් චිත්‍රපටයකට රංගන වරම් හිමිකර ගත් ඇය, නැවත සිනමා නිර්මාණයක් ඔස්සේ දැකබලා ගැනීමට හැකියාව ඇත්තේ ලබන 02 වැනිදා එළිදැක්වීමට නියමිත ‘Jack and Dil’ චිත්‍රපටය ඔස්සේය.
මීට අමතරව ලබන මස අවසානයේදී එළිදැක්වීමට නියමිත චිත්‍රපටයක් වන ‘ Kedarnath ‘ චිත්‍රපටය ඔස්සේද සිනමාවට නවකයෙකු හඳුන්වා දීමට නියමිතය. ඇය නමින් සාරා අලි ඛාන්ය. සයිෆ් අලි ඛාන්ගේ දියණිය වන ඇය බොලිවුඩ් සිනමාවට නවකයෙකි. ඇය සිය පළමු චිත්‍රපටය වන ‘Kedarnath’ ඔස්සේ සිනමා ගමන ආරම්භ කිරීමට අපේක්ෂා කරන්නීය. ඇය සමගින් සුශාන්ත් සින්ග් රාජ්පුත්ද මෙහි රංගනයෙන් දායක වෙයි.