නැටුමට පෑ ආදරේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

“මම අවුරුදු දහනමයේදි ඉස්කෝලෙන් අස් වෙලා පියන් කෙනෙක් විදියට වැඩ කළා.. මගේ තාත්තා තවමත් තේ කඩයක් කරගෙන යනවා..”
එසේ කියන්නේ නර්තන ශිල්පියෙක්, නළුවෙක් සහ නර්තන අධ්‍යක්ෂවරයෙකු වන ධර්මේෂ් යලෙන්දේය. ජීවිතය ජය ගන්නට වෙහෙසමහන්සි වූ තරම පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය කරමින් ඔහු එලෙස කීවේය. 
කුඩා කල සිටම නර්තනයට ඔහු තුළ තිබුණේ බලවත් ඇල්මකි. සිය පුංචි නිවසේ රූපවාහිනිය ඉදිරියේ සිට ඔහු ගෝවින්දා අනුකරණය කළේය. නිවසේ ඉඩකට මදිකම ඔහුගේ නැටුමට බාධාවක් නොවිණි. කෙදිනක හෝ නිවසින් පිටතට ගොස් ප්‍රසිද්ධියේ නර්තනයේ යෙදෙන්නට ඔහු සිහින දුටුවේය.  
ඔහුගේ තාත්තාට වෙළෙඳසැලක් තිබිණි. බදු ගෙවීමට අපොහොසත් වීම නිසා නගර සභාව විසින් එම වෙළෙඳසැල කඩාබිඳ දමනු ලැබීමත් සමඟම සිය සිහින මන්දිරය ද සුණුවිසුණු වී ගිය බැව් ධර්මේෂ්ට දැනිණි. එහෙත් ඔහුගේ තාත්තා අධෛර්යමත් වූයේ නැත. 
“නරක කාල හැමදාමත් තියෙන්නෙ නෑ..”
කියූ ඔහු පුංචි තේ කඩයක් ආරම්භ කළේය. එයින් දිනකට රුපියල් පනහක හැටක ආදායමක් ලබා ගන්නට ඔහුට හැකි වූයේය. 
“හතර දෙනෙකුට කාලාබීලා ජීවතක් වෙන්න ඒ ආදායම හොඳටම මදි.. ඒත් තාත්තට ඕන වුණා මටයි මල්ලිලා දෙන්නටයි හොඳට උගන්නන්න.. එයා ඒ වෙනුවෙන් සතෙන්සතේ එකතු කෙරුවා..”
ධර්මේෂ් අතීතය සිහිපත් කරමින් කීවේය. 
ආර්ථික අපහසුතා තිබ්බත් තාත්තා ඔහු නර්තන ඇකඩමියකට ද ඇතුළත් කළේය. පාසැලේදී බොහෝ නැටුම් තරඟවලින් ජය ගත්තේ වී නමුදු පාඩම් වැඩ කෙරෙහි ඔහුගේ උනන්දුවක් නොවිණි. ඔහුගේ ලකුණු තිබුණේ පහළම මට්ටමේය. එම නිසාම නොව නැටුම් කෙරෙහි වූ ආශාව නිසාම ඔහු අවුරුදු දහ නවය වෙද්දී පාසැලින් අස් වූයේය. ඉනික්බිතිව කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස රැකියාවක් සොයා ගත්තේය. ඔහුට ගෙවන්නට සිදු වූයේ අසීරු කාලයකි. රැකියාව කරන අතරතුරම ඔහු කුඩා ළමයින්ට නැටුම් ඉගැන්නුවේය. ඉන් මාසයකට රුපියල් 1600ක් පමණ උපයා ගන්නට ඔහු සමත් වූයේය. ඒ මුදල් ඔහු වැය කළේ සිය නර්තන පාඩම් වෙනුවෙනි. නර්තන ඇකඩමියේ ජ්‍යෙෂ්ඨ අංශයට සමත් වූවාට පසුව ඔහුට රැකියාව කරන්නට නොහැකි වූයේ සිය මුළු කාලයම නැටුම් සඳහා යොදවන්නට සිදු වූ බැවිනි. වරක් ඔහුට චිත්‍රපටියක නැටුම් කණ්ඩායමක පෙනී සිටින්නට අවස්ථාවක් ලැබිණි. තමා ඉපදී ඇත්තේ නැටුමටම බැව් ඔහු වටහා ගත්තේ එහිදීය. 
සිය බොලිවුඞ් සිහිනය සැබෑ කර ගන්නට සිතූ ඔහු මුම්බායිවලට ගියේය. එහිදී බූගී වූගී නම් රියැලිටි වැඩ සටහනට සම්බන්ධ වීමට ඔහුට හැකි වූයේය. ඉන් ජයග්‍රහණය කළ ඔහුට ලක්ෂ පහක ත්‍යාග මුදලක් ලැබිණි. ඒ වන විට ණය බරින් මිරිකෙමින් සිටි තාත්තාට ඉන් නිදහස් වෙන්නට ඔහු ඒ ලක්ෂ පහ දුන්නේය. කෙසේ වුව ද ඔහුට චිත්‍රපටියක ප්‍රධාන චරිතය දක්වා යන්නට ඒ ජයග්‍රහණය උදව් දුන්නේ නැත. අවුරුදු දෙකක් ගත වෙද්දී ඔහුට මුදල් අසීරුකම් ද මතු වූයේය. ඔහු මුම්බායි හැර දමා නැවතත් සිය නිවසට ගියේය. 
මාස කිහිපයකට පසු සියල්ල වෙනස් වූයේ ඔහු ඩාන්ස් ඉන්දියා ඩාන්ස් රියැලිටි වැඩ සටහනට ඉදිරිපත් වීමත් සමඟය. එහි කිරුළ හිමි කර ගන්නට නොහැකි වුව ද එක් රැයකින් ජනප්‍රිය වෙන්නට ඔහුට හැකි වූයේය. ඉනික්බිතිව ඔහුට චිත්‍රපටිවල නර්තන අවස්ථා ලැබෙන්නට පටන් ගත්තේය. ඔහු නර්තන අධ්‍යක්ෂවරයෙකු වශයෙන් දොරට වැඩියේ ෆාරා ඛාන් ගේ ටීස් මාර් ඛාන් චිත්‍රපටියෙනි. මුලින්ම රඟ පෑවේ එනි වන් කැන් ඩාන්ස් චිත්‍රපටියේය. භෝජ්පූරි, ගුජරාටි චිත්‍රපටිවල ද රඟ පාන්නට ඔහුට අවස්ථාව උදා විණි. මේ වසර මුලදී වරුන් ධාවාන්, ශ්‍රද්ධා කපූර්, ප්‍රභූ දේවා සමඟ ඔහු ස්ටි්‍රට් ඩාන්සර් හි රඟ පෑවේය. 
“මම හම්බ කරපු සල්ලිවලින් මගේ පවුලේ අයට ගෙයක් අරන් දුන්නා.. මම තාත්තට කිව්වා මම සල්ලි දෙන්නම් දැන් වැඩ කළේ නැතුවට කමක් නෑ කියලා.. ඒත් තාත්තා ඒකට කැමති නෑ.. මම හිතන්නෙ නෑ බෑ කියලා කිසිම දෙයක් අතෑරලා දාන්නෙ නැතුව වැඩ කරන්න මම ඉගෙන ගත්තෙ තාත්තගෙන්.. මොන තරම් බාධක ආවත් මම මගෙ හදවත කියන දේ කරනවා..” ඔහු කියන්නේය.

චන්දි කොඩිකාර

20210110Darmesh-2 20210110Darmesh-3 20210110Darmesh-1