නාර්ගීස් මිය ගොස් වසර හතළිහක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීන නිළි නාර්ගීස් මිය ගොස් හතළිස් වසරක් ගත වූ මැයි තුන් වෙනිදා ඇගේ පුත් සංජේ දත් කියවන්නන්ගේ සිත් දුක්බර  වෙන ආකාරයේ සටහනක් සමාජ මාධ්‍යයට නිකුත් කර තිබිණි.  කුඩා කාලයේ නාර්ගීස් ඔහු වඩාගෙන ගත් ඡායාරූපයක් ද සහිතව ඔහු සටහන් කර තිබුණේ “අම්මේ ඔබ සිහිපත් නොවී ගත වුණ එක දවසක්වත් මගේ ජීවිතයේ තිබුණේ නෑ..” යනුවෙනි. 
ඉතා සුන්දර සිනාවක් සහිත මේ ජනප්‍රිය, රූමත් නිළිය රඟ පාන්නට පටන් ගත්තේ වයස අවුරුදු පහේදීය. ෆාතිමා රශීඞ් නමින් උපත ලද ඇය නාර්ගීස් වූයේ රිදී තිරයටය. අවුරුදු පහේදී රංගනයට එක් වුවත් ඇය ජනප්‍රිය වූයේ තමන්නා චිත්‍රපටිය තුළිනි. බර්සාත්, බාබුල්, ශ්‍රී 420, මදර් ඉන්දියා, ආවාරා, රාත් ඕ දින් ඇතුළු වාණිජමය වශයෙන් සාර්ථක වූ සහ ආන්දෝලනාත්මක චිත්‍රපටි රැසක ඇය රඟ පෑවාය. 
ආවාරා සහ ශ්‍රී 420 චිත්‍රපටිවල ඇය සමඟ ප්‍රධාන චරිත නිරූපණය කළ රාජ් කපූර් සමඟ ඇගේ ප්‍රේම සම්බන්ධයක් ඇති වූයේය. ඒ වන විටත් විවාහ වී දරුවන් ද සිටි රාජ් කපූර් දික්කසාද වී ඇය විවාහ කර ගන්නට කැමති වූයේ නැත. ඉන් සිත බිඳුවා ගත් නාර්ගීස් ඔහු සමඟ වූ අවුරුදු නවයක ප්‍රේම කතාවට තිත තැබුවාය. මදර් ඉන්දියා චිත්‍රපටියේ ඇගේ සහාය නළුවා වූයේ සුනිල් දත්ය. එම චිත්‍රපටිය රුගත කරන අතරතුර දර්ශන තලයේ ඇති වූ ගින්නකින් සුනිල් දත් ඇය බේරා ගත්තේය. ඉන් ඇති වූ පැහැදීම ඔස්සේ ඔවුන් දෙදෙනා අතර සම්බන්ධයක් හට ගත්තේය. ඇය 1958 දී ඔහු සමඟ විවාහ වූවාය.  සංජේ දත්, නම්රතා සහ ප්‍රියා ඔවුන්ගේ දරුවන් තිදෙනාය. සංජේ චිත්‍රපටි ක්ෂේත්‍රයට එක් වූ අතර නම්රතා, නළුවෙකු වූ කුමාර් ගව්රව් සමඟ විවාහ වූවාය. ප්‍රියා දේශපාලනයට එක් වූවාය. 
නාර්ගීස් ද පසු කාලයක දේශපාලනයට එක් වූ අතර ඇයට පිළිකාවක් වැළඳී ඇති බැව් දැන ගන්නට ලැබුණේ 1980 අගෝස්තු මාසයේදීය. ප්‍රතිකාර සඳහා ඇමෙරිකාවට පවා ගෙන යන ලද නමුත් ඇය සුව කරන්නට නොහැකි වූයේය. 1981 මැයි මාසයේ 2 දා සිහිසුන් තත්වයට පත් ඇය සිහිය නොලබාම මිය ගියාය. ඇගේ පුතු සංජේ දත් රඟ පෑ ප්‍රථම චිත්‍රපටිය රොකී තිරගත වූයේ මැයි 7 දාය. ඇයට ගෞරවයක් වශයෙන් චිත්‍රපටි ශාලාවේ එක් අසුනක් හිස්ව තබනු ලැබිණි. 
රොකී තිරගත වන කාලය වන විටත් සංජේ දත් දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටියේය. සිය මව දැඩිව රෝගී වී සිටියදීත් තමා ඇය බලන්නට නොගොස් මත් ද්‍රව්‍ය සමඟ කල් ගෙවූ බැව් පසුකාලීනව සංජේ පවසා තිබිණි. එම නිසාම ඇය තමාට මඟ හැරුණ බව සිතමින් ඔහු පසුතැවිලි වීම සාධාරණ නොවන්නේදැයි ඔහු ගැන හොඳින්ම දන්නා අය විමසති. 

20210518Nargis (1) 20210518Nargis (2) 20210518Nargis (3) 20210518Nargis (4)



More In Hot Story