දිගු කලකට පසුව ෂාරුක්-දීපිකා නැවතත් රිදී තිරයට
වසර දෙකක නිහැඩියාවකට පසු සුපිරි නළු ෂාරුක් ඛාන් රඟපාන අලුත්ම චිත්‍රපටය ‘පතාන්’ ගැන මේ වන විට විශාල අවධානයක් යොමු වෙමින් තිබේ.
ෂාරුක් මේ ආකාරයෙන් නැවත රංගනයට අවතීර්ණ වීම ගැන ඔහුගේ රසික රසිකාවියන් දැඩි උද්දාමයෙන් සිටින බව පෙනුණත් මෙම සිනමාපටය වර්ජනය කළ යුතු බවට වන මතයක්ද ඇතැමුන් පතුරුවමින් සිටින ආකාරයක් දැකිය හැකි වේ. ඒ ගැන සඳහන් කිරීමට පෙර මෙම සිනමාපටය ගැන යම් හැඳින්වීමක් කිරීම වැදගත් වනු ඇත.
‘පතාන්’ සිනමා පටය හැඳින්වෙන්නේ ඉතා වේගවත් ක්‍රියාදාම (Action) සිනමාපටයක් වශයෙනි. ඇතැම් මාධ්‍ය වාර්තාවලට අනුව එය පළිගැනීමක් පිළිබඳ කතා පුවතක් රැගත් නිර්මාණයකි. ෂාරුක් මෙහි රඟපාන්නේ රහස් ඔත්තු නිලධාරියකුගේ චරිතයක් බවද සඳහන්ය.
වසර ගණනාවකට පසු දීපිකා පාදුකෝන් සහ ෂාරුක් එකට රඟපෑමද ‘පතාන්’ සම්බන්ධ තවත් විශේෂත්වයකි. දීපිකාද රහස් ඔත්තු නිලධාරිනියකගේ චරිතයකට පණ පොවන බව වාර්තා වේ. මෙයට පෙර ඔවුන් ‘ඕම් ශාන්ති ඕම්’ ‘චෙන්නායි එක්ස්ප්‍රස්’, ‘හැපි නිව් ඉයර්’ වැනි චිත්‍රපටවල රඟපෑ අතර ඒ අතරින් අවසන් චිත්‍රපටය වූ ‘හැපි නිව් ඉයර්’ තිරගත වූයේ මෙයට වසර 6කට පෙර එනම් 2014 වසරේය.
‘පතාන්’ හි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ජෝන් ඒබ්‍රහම් සහ ෂාරුක් පළමු වතාවට එක චිත්‍රපටයක රඟපෑමයි. ඒබ්‍රහම් මෙහි දුෂ්ට චරිතයක් රඟපානු ඇති බවටද ආරංචි පළවී තිබේ. ෂාරුක් සහ ජෝන් ඒබ්‍රහම් පෙනී සිටින ඉතා උද්වේගකර දර්ශන රැසක් ඇති මෙහි ඇතුළත් කිරීමට චිත්‍රපටයේ නිර්මාණකරුවන් කටයුතු කර ඇති බව මාධ්‍ය සඳහන් කර තිබිණි.
ඉන්දියාව තුළ කොවිඩ් වසංගතය දරුණු ආකාරයෙන් පැතිරෙමින් තිබියදී දැඩි සෞඛ්යාරක්ෂක සීමාවන් මධ්‍යයේ එහි රූපගත කිරීම් ආරම්භ වූයේ නොවැම්බරයේ මැද භාගයේයි. මුලින්ම රූපගත කෙරුණේ ෂාරුක් ඛාන් පෙනී සිටින දර්ශනයි. මුම්බායිහි යෂ්රාජ් චිත්‍රපට සමාගමේ චිත්රාගාරවල මෙම දර්ශන රූපගත කෙරිණි.
පසුව දීපිකාද රූපගත කිරීම් සඳහා සහභාගි වී තිබූ අතර පසුගිය දෙසැම්බර් 24 වැනි දින දක්වා මාසයකට ආසන්න කාලයක් මෙම රූපගත කිරීම් ඉදිරියට ගොස් තිබිණි. කෙටි විරාමයකින් පසු නැවතත් එම කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ. රූපගත කිරීම්වල එම අදියර ඉන්දියාවේ නොව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි සිදුකෙරෙනු ඇති බවද වාර්තා වේ.
ජෝන් ඒබ්රහම්ද එහිදී රූපගත කිරීම්වලට එක්වීමට නියමිතය. මෙයට අමතරව සල්මාන් ඛාන් සහ රිතික් රොෂාන්ද කෙටි දර්ශන කිහිපයක පෙනී සිටිනු ඇති බව සඳහන් වේ. සල්මාන් දින 12-15 අතර කාලයක් රූපගත කිරීම්වලට සහභාගි වනු ඇත. චිත්‍රපටයේ උද්වේගකර ජවනිකා බොහොමයක් රූපගත කරනු ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීයි.
මේ වනවිට සමාජ මාධ්‍ය තුළ ඇතැමුන් මෙම සිනමාපටය වර්ජනය කළයුතු බවට මතයක් ගෙන යමින් සිටීමද අවධානයට ලක්ව ඇති කාරණයකි. මෙයට මාස කිහිපයකට පෙර සිදුවූ සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණයෙන් පසු බොලිවුඩයේ ඇතැම් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සමහර සිනමාලෝලීන් අතර යම් අප්‍රසාදයක් ඇති වූ බව රහසක් නොවේ.
ප්‍රබල සිනමා පවුල්වල දරුවන්ට බොලිවුඩය තුළ වැඩි සැලකිල්ලක් ඇති බවට එකල දැඩි චෝදනා එල්ල විය. සුෂාන්ත්ගේ මරණයට හේතුවද ඔහුට අත්විඳින්නට සිදුවූ කෙනහිලිකම් සහ ඒ නිසා ඇති වූ සිත් වේදනා බවටද අදහස් පළ විය.
ඔහුගේ මරණය සැලකුණේ සිය දිවි නසාගැනීමක් ලෙසිනි. බොලිවුඩ් නළු නිළියන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් අතර ඇති සම්බන්ධතා ගැනද එකල විශාල කතාබහක් ඇති විය. මෙම පසුබිම තුළ බොලිවුඩ් චිත්‍රපට වර්ජනය කළයුතු බවට යම් මතවාදයක් හිස ඔසවන්නට පටන් ගත්තේය.
ඇතැමුන් ‘පතාන්’ චිත්‍රපටය වර්ජනය කළයුතු බව කියන්නේද සිනමා කර්මාන්තය තුළ ඇති මෙම අසාධාරණයන් ගැන තිබෙන විරෝධය නිසා බව පෙනේ. තවත් සමහරුන් ඍජුවම ෂාරුක්ට විරෝධය දක්වා ඇති ආකාරයක්ද දැකිය හැකි විය. ඒ ඔහු සුෂාන්ත්ගේ මරණය අවස්ථාවේ මෙම අසාධාරණයන්ට එරෙහිව කතා නොකළ බව කියමිනි.
සනත් වික්‍රමගේ