චිරංජීවී සර්ජා මිය යයි
මේ දිනවල ලෝක ජනගහණයෙන් සියයට අනූවක්ම සිටින්නේ මරණය කුමන මොහොතේ තමාට අත වනනු ඇද්දැයි බියෙනි. එබඳු බියකින් පසු නොවන අයට පවා මරණයෙන් ගැලවීමක් නැත. 39 හැවිරිදි චිරංජීවි සර්ජාගේ මරණය ලොවට විදහා පාන කටුක සත්‍යය එය නොවේදැයි ඔහුගේ රසිකයෝ විමසති.
ජූනි මාසයේ හය වෙනිදා චිරංජීවි හුස්ම ගැනීමේ අපහසුතාවකින් පෙලුණේය. එය සාමාන්‍ය තත්වයක්යයි ඔවුහු සිතූහ. මේ වසංගත කාලයේ රෝහල්ගත වෙන්නට ද ඔහු මැලි වන්නට ඇත. හත් වෙනිදා සවස එක හමාරට පමණ ඔහු සිය පියා සමඟ දුරකථනයෙන් කතා කරමින් සිටියේය. ඒ අවස්ථාවේදී ඔහු පපුව අල්ලාගෙන ඇද වැටී ඇති අතර රෝහල්ගත කිරීමෙන් මඳ වේලාවකට පසුව මිය ගියේය. ඔහුගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව කියැවෙයි.
කන්නඩා සිනමා කෂේත්රයේ ජනප්‍රිය නළුවෙකු වූ චිරංජීවි පැවත ආවේ සිනමා පවුලකිනි. ප්‍රවීන කන්නඩා නළුවෙකු වූ ශක්ති ප්‍රසාද් ඔහුගේ සීයාය. ඔහුගේ බාප්පා අර්ජුන් සර්ජා මෙන්ම අයියා ධුර්වා සර්ජා ද චිත්‍රපටි නළුවන්ය. තවත් බාප්පා කෙනෙකු වන කිශෝර් සර්ජා චිත්‍රපටි අධ්යක්ෂවරයෙකි. ඔහු ක්ෂේත්රයට ආවේ ඒ බාප්පාගේ චිත්‍රපටිවල සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමිනි. අවුරුදු හතරකට පසුව එනම් 2009 දී ඔහුට කිශෝර් ගේ වායුපුත්‍ර චිත්‍රපටියේ රඟ පාන්නට අවස්ථාව උදා වූයේය. එහි රඟ පෑම වෙනුවෙන් ඔහු හොඳම නවක නළුවා සම්මානය ද හිමි කර ගත්තේය.
මේ වන විට ඔහු චිත්‍රපටි විසි දෙකක රඟ පා තිබේ. ඒ අතරින් ‘අම්මා අයි ලව් යූ, විස්ල්, වරදනායක, චන්ද්‍රලේඛා, රාම් ලීලා චිත්‍රපටි අමරණීය ලෙස රසික සිත් තුළ සටහන් වූයේය. සමහර චිත්‍රපටි තවම තිරගත වීත් නැත.
“ඊටත් වඩා දුක්බරම දෙයක් තියෙනවා.. චිරංජීවියි, ඔහු ගේ බිරිඳ මේග්නායි ඔවුන්ගේ පළමු දරුවා බලාපොරොත්තුවෙන් හිටියෙ..”
පවුලේ ප්‍රකාශකයෙකු පැවසුවේ වේදනාවෙනි. චිරංජීවී දරුවා පිළි ගන්නට බොහෝ ආසාවෙන් හා නොඉවසිල්ලෙන් සිටියත් ඒ පියාටත් දරුවාටත් එකිනෙකා හමු වෙන්නට දෛවය ඉඩ දී නැත.
“ක්ෂේත්රයේ ඔහුගේ අඩුව පුරවන්න පුළුවන් කෙනෙක් කවදා හරි එයි.. ඒත් ඒ දරුවාට පියෙක් කවදාවත් ලැබෙන එකක් නෑ..”
ඔහුගේ අභාවය ගැන සොව පළ කරමින් පළ කළ පණිවිඩ අතර එවැනි ඒවා ද තිබිණි.