කොවිඩ් මරුවාට පැරදුණ නළුවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කොවිඩ් මාරයා ඉන්දියානු ජනතාව ලක්ෂ ගණනින් බිලි ගන්නේ ඉතාම නිර්දය ආකාරයටය. මේ අතරට එක් වූ අලුත්ම බිල්ල රාහුල් වොහොරාය. සත්තකින්ම එය හැම කෙනෙකුගේම සිත් කම්පා කළ කතාන්දරයකි. ටෙලි නාට්‍ය සහ චිත්‍රපටි කිහිපයක රඟ පෑ ඔහු යූ ටියුබ් නාලිකාවෙන් සහ මුහුණු පොතින් ඉදිරිපත් කළ හාස්‍යජනක කෙටි වීඩියෝ පට සිනාසෙමින් නැරඹූ ප්‍රේක්ෂකයන් මිලියන ගණනාවක් වූයේය. එහෙත් රෝහලේ සිට අවසන් වරට ඔහු විසින් පටිගත කරන ලද වීඩියෝව ඒ සියලු දෙනාම හඬවන්නට සමත් වූයේය.  
තිස්පස් හැවිරිදි රාහුල්, කොවිඞ් වැළඳීම නිසා ඔහු දිල්ලියේ රෝහලකට ඇතුළත් කරනු ලැබිණි. සතියක් පමණම රෝහල්ගතව සිටියත් තමාට නිසි ප්‍රතිකාර නොලැබුණ බව ඔහු රෝහලේ සිට සිය බිරිඳ වන සිනමා නිළි ජෝති තිවාරි වෙත එවන ලද එම වීඩියෝපටයේ සඳහන් වී තිබිණි. ඔහුගේ මරණයෙන් පසුව ඇය ඒ වීඩියෝ පටය ප්‍රසිද්ධියට පත් කර තිබේ. 
“මේ වෙලාවේ වටිනාම දේ ඔක්සිජන්.. ඒවා නැතුව ලෙඞ්ඩු  කලන්තයෙන් පීඩා විඳිනවා..”
ඔහු සිය මුහුණට දමා තිබූ ඔක්සිජන් වැස්ම ගලවමින් පවසන ආකාරය වීඩියෝ පටයේ දැක්වෙයි. එය හුදු වැස්මක් පමණක් මිස ඔක්සිජන් සම්බන්ධ කළ එකක් නොවන බැව් ඔහු හුස්ම ගන්නට කරන උත්සාහය දකිද්දී වැටහෙයි. 
“රෝහල් සේවකයෙකුට කොච්චර කතා කළත් ඔවුන් එන්නෙ කතා කරලා පැයකට විතර පස්සෙ.. අපි කොහොම හරි හැමදේම දරාගෙන ඉන්න ඕන..” වීඩියෝවේ ඔහු කියා තිබිණි. 
මැයි හතර වෙනි දා ඔහු ෆේස් බුක් සටහනක් තබමින් කියා තිබුණේ මීට වඩා හොඳ ප්‍රතිකාර ලැබුණොත් තමාට ජීවත් වෙන්නට ඉඩ ලැබෙනු ඇති බවය. ඔහු ඒ සටහන ඉන්දියානු අගමැති නරේන්ද්‍ර සිං මෝදි ගේ සහ දිල්ලි මහ ඇමතිගේ අවධානයට ද යොමු කර තිබිණි. එහෙත් කිසිවෙකු ඔහුගේ පිහිටට ආවේ නැත. 
“මම කොහෙන්ද ඔක්සිජන් සහිත ඇඳක් හොයා ගන්නෙ..?”
මැයි හත් වෙනිදා ඔහු තමා සිටින රෝහලේ විස්තර ද සමඟ මුහුණු පොතේ සටහනක් තබමින් අසා තිබිණි. අවසානයේදී ඔහු සටහන් කර තිබුණේ “මම ඉක්මනින් නැවත ඉපදිලා යහපත් වැඩ කරන්නට බලාපොරොත්තු වෙනවා.. දැන් මගේ ධෛර්යය නැති වෙලා ඉවරයි..” යනුවෙනි. ඔහු වෙනත් රෝහලකට මාරු කරනු ලැබුව ද ඒ වන විට ප්‍රමාද වැඩි වී තිබිණි. මැයි නව වෙනිදා ඔහු මිය ගියේය. 
“ඇත්තටම ඒක හරිම ඛේදජනක මරණයක්.. මට හිතෙනවා ඔහුගේ පණිවිඩය සෝනු සූඞ් දැක්කානම් හැමදේම වෙනස් වෙන්න තිබ්බා කියලා.. රාහුල් වෙනුවෙන් මම ඔහුගේ පවුලේ අයට මගේ සාතිශය සංවේගය පිරිනමනවා.. ඔවුන් වෙනුවෙන් යාඥා කරනවා..”
එසේ පැවසුවේ සිනමා නිළි කිශ්වෙර් මර්චන්ට්ය. 
ඇය සෝනු සූඞ් ගැන සඳහන් කළේ කොවිඞ් ඇරඹුණ දා සිටම ඔහු විවේකයක් නොගෙන ආසාදිතයන්ට පිහිට වු බැවිනි. ඔහු රට වසා තිබූ සමයේදී සංක්‍රමණික කම්කරුවන්ට සිය නිවෙස් බලා යන්නට වුවමනා කටයුතු සම්පාදනය කර දුන්නේය. දැනටත් ඔහු ආසාදිතයන්ට රෝහල් සොයා දීමෙන් සහ ඔක්සිජන් සිලින්ඩර් සැපයීමෙන් පිහිට වන්නේය. බොහෝ දෙනෙක් මිය යන්නේ ඔක්සිජන් හිඟකම නිසාය. 
සෝනු සූඞ් පමණක් නොව ආක්ෂේ කුමාර්, ප්‍රියංකා චොප්රා, ආයුෂ්මාන් ඛුරානා, අනුෂ්කා ශර්මා, විරාත් කෝලි, සචින් තෙන්ඩුල්කාර් වැන්නවුන් ද කොවිඞ් රෝගීන් වෙනුවෙන් පිහිටුවා ඇති අරමුදලට සිය මූල්‍යමය දායකත්වය සපයා තිබේ.

20210526Rahul-1 20210526Rahul-2