කොරෝනා හේතුවෙන් අපෙන් සමුගත් කලාකරුවන්
කොරෝනා වසංගතය හේතුවෙන් ලොව බිහි වූ විශිෂ්ට කලාකරුවන් කිහිපදෙනෙකුද මේ වන විට අප අතරින් වියෝ වී තිබේ. මේ ඔවුන් පිළිබඳවයි.
ටෙරන්ස් මැක්නැලී
ඇමෙරිකාවෙන් බිහිවූ විශිෂ්ටතම නාට්‍ය රචකයෙකු වන ටෙරන්ස් මැක්නැලී පසුගිය 24 වැනිදා මිය ගියේය. මිය යන විට 81 හැවිරිදි වියේ පසුවූ ඔහු, ටෝනි සම්මානය පවා හිමිකර ගත්තෙකි. ඒ ‘Master Class’, ‘Love Valour! Compassion!’ සහ සංගීතමය කෘතියක් වන ‘Kiss of the Spider Woman’ යන නාට්‍ය වෙනුවෙනි. 1964 සිට නාට්‍යකරණය යෙදුණු ටෙරන්ස්, මෙලෙස අවාසනාවන්ත ලෙස මිය යන්නේ ෆ්ලොරිඩා රෝහලකදීය.
මාක් බ්ලම්
වේදිකාව,රූපවාහිනිය මෙන්ම සිනමාවද ජය ගත් ඇමෙරිකානු නළුවෙකු වන මාක් බ්ලම්ද, කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය 25 වැනිදා මිය ගියේය. මිය යන විට 69 හැවිරිදි පසුවූ ඔහු, 1985 වසරේදී තිරගත වූ Desperately Seeking Susan චිත්‍රපටයත් සමග බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් නළුවෙකි. ඉන් අනතුරුව Gus and Al වේදිකා නාට්‍යය හරහා අතිශයින් ජනප්‍රිය වූ වේදිකා නාට්‍ය නළුවෙකු වූ ඔහු, ඒ වෙනුවෙන් ඔබී(Obie) සම්මානය පවා දිනා ගත්තෙකි. 1976 සිට රූපණයේ යෙදුණු මාක්, හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළුණු රෝගියෙකි. ඒ අනුව ඔහු මෙලෙස අවාසනාවන්ත ලෙස මිය යන්නේ නිව්යෝර්ක් නගරයේ පිහිටි ප්‍රෙස්බිටීරියන් රෝහලේදීය. ඒ සම්බන්ධයෙන් මැඩෝනාද සිය ට්විටර් ගිණුමේ ඉතා අපූරු මතක සටහනක් තබා තිබේ.
මනු ඩිබැන්ගෝ
ප්‍රංශයේ ජෑස් සංගීතඥයෙකු වන මනු ඩිබැන්ගෝ, පසුගිය 24 වැනිදා මිය ගියේය. මිය යන විට 86 හැවිරිදි වියේ පසුවූ ඔහු, කැමරන් සම්භවයක් සහිත ප්‍රකට සැක්සෆෝන් වාදකයෙකි. 1972 වසරේදී ‘Soul Makossa’ ගීතය හරහා අතිශයින් ජනප්‍රිය වූ මනු, මෙලෙස අවාසනාවන්ත ලෙස මිය යන්නේ පැරිස් රෝහලකදීය.
ජෝ ඩිෆී
අනූව දශකයේ අතිශයින් ජනප්‍රිය වූ ඇමෙරිකානු ස්වදේශික ගායකයෙකු මෙන්ම ස්වදේශික ගී පද රචකයෙකුද වන ජො ඩිෆි,පසුගිය 29 වැනිදා මිය ගියේය. ‘Home’, ‘If the Devil Danced (in Empty Pockets)’,’Third Rock From the Sun’, ‘Pickup Man’ සහ ‘Bigger Than the Beatles’ යන ගීත හේතුවෙන් පස්වරක් බිල්බෝර්ඩ් ගීත දර්ශකයේ අංක එකට පත් ජෝ, මිය යන විට 61 හැවිරිදි වියේ පසුවූයේය.
කෙන් ෂිමුරා
කොරෝනා වසංගතයට ගොදුරු වීමෙන් ජනප්‍රිය ජපන් හාස්‍ය නළුවෙකු වන ෂිමුරාද පසුගිය 29 වැනිදා අප අතරින් සමුගත්තේය. ‘ජපන් රොබින් විලියම්ස්’ යන විරුදාවලිය ලත් මෙම රූපණ ශිල්පියා, 1972 වසරේ සිට රූපණ ක්ෂේත්රයේ නියැලී සිටි ඔහු, පසුගිය 20 වැනිදා නියුමෝනියාව තත්ත්වයට පත් රෝහල්ගත කර ඇති අතර කොවිඩ් වයිරසය ඔහුට ශරීරගත වී ඇති බැව් තහවුරු වූයේ පසුගිය 23 වැනිදාය. ඒ අනුව ඔහු සූදානම්ව සිටි ‘කිනේමා නෝ කමිසාමා’ චිත්‍රපටයේ කටයුතුවලින් ඉවත් වීමට ෂිමුරාට සිදුවූ අතර ඒ මාර්තු 26 වැනිදාය. අවසන දින තුනක ජීවන අරගලයකින් අනතුරුව මරණය උරුම කර ගත් ඔහු, හැත්තෑ හැවිරිදි වියේදී අප අතරින් සමුගත්තේ මෙම වසරේ පැවැත්වීමට සිදුවු ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ගිනි සිළුව දැල්වීමේ අවස්ථාවද අහිමි කර ගනිමිනි.
ඇලන් මෙරිල්
අසූව දශකයේ මැද භාගයේදී ‘I Love Rock and Roll’ ගීතය හරහා අතිශයින් ජනප්‍රිය වූ ගායකයෙකු වන ඇලන් මෙරිල්ද, පසුගිය 29 වැනිදා මෙම වයිරසය ආසාධනය වීමෙන් මිය ගියේය. ජනප්‍රිය ගිටාර් වාදකයෙකුද මෙරිල් සැලකෙන්නේ ජපානයේදී ගායන තරුවක් බවට පත් පළමු පොප් බටහිර ගායකයා ලෙසයි. නිව්යෝර්ක් නගරයේදී මිය ගිය ඔහු, ඒ වන විට 69 හැවිරිදි වියේ පසුවූයේය.ඔහුගේ දියණිය වූ ලෝරා මෙරිල් විසින් ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා සිටියේ තම පියාට සාමකාමී මරණයක් උරුම වනු තමා දුටු බවයි.
ඇන්ඩෘ ජැක්
මීට දින දෙකකට පෙර රෝහල්ගත කළ ‘ස්ටාර් වෝ’ නළු ඇන්ඩෘ ජැක්ද, ඊයේ(31) සාමකාමී මරණයකට උරුමකම් කීවේය. ඒ ඔහු කිසිදු වේදනාවකට මුහුණ දී නොමැති බැව් විදෙස් මාධ්‍ය සඳහන් කරන බැවිනි. හඬ නළු පුහුණුකරුවෙකු වන ජැක්, මිය යන විට 76 හැවිරිදි වියේ පසුවූ අතර සරේ රෝහලේදී මිය ගිය ඔහුට, ඔහුගේ බිරිඳ පවා දැක ගැනීමට නොහැකි වූයේ මෙම වසංගත තත්ත්වයේ බරපතලකම කියා පාමිනි. මේ සම්බන්ධයෙන් ක්‍රිස් හෙම්ස්වර්ත්,හියු ජැක්මන්,රොබට් ඩවුනිද සිය ශෝකය පළ කර තිබීම විශේෂත්වයකි.
වොලස් රූනි
විශිෂ්ට සංගීතඥයෙකු වන මයිල්ස් ඩේවිස්ගේ ජෑස් සංගීත සංරචනාවල ට්‍රම්පට් වාදකයා ලෙස කටයුතු කළ වොලස් රූනිද, කොරෝනා වසංගතය හේතුවෙන් මිය ගිය තවත් කලාකරුවෙකි.ග්‍රැමී සම්මානලාභී වාදකයෙකු වන ඔහු, ඇමෙරිකාවේ පැටර්සන් රෝහලේදී මිය ගිය අතර ඒ වන විට 59 හැවිරිදි වියේ පසුවූයේය. පසුගිය සතියේ රෝහල්ගත කෙරුණු මෙම වාදකයා,ලෝ ප්‍රකට බර්ක්ලී සංගීත විද්‍යාලයෙන්ම මෙන්ම හොවාර්ඩ් විශ්වවිද්‍යාලයෙන්ද සංගීතය හැදෑරුවෙකි. ඔහුගේ බිරිඳ වන ජෙරී ඇලන්ද පියානෝ වාදන ශිල්පිනියකි.
ඇඩම් ස්ලෙසින්ජර්
පණස් දෙහැවිරිදි වියේ පසුවූ ජනප්‍රිය ඇමෙරිකාන පොප් ගායකයෙකු වන ඇඩම් ස්ලෙසින්ජර්ද කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ඊයේ(01දා) මිය ගියේය. ඔස්කාර්,ගෝල්ඩන් ග්ලෝබ් මෙන්ම ටෝනි සම්මානය සඳහාද නිර්දේශ වූ ඔහු, ග්‍රැමී සම්මාන තුනක් දිනා ගත්තෙකි. එමී සම්මාන තුනක් දිනා ගත්තෙකි. 1990 වසරේ සිට සංගීත ක්ෂේත්රයේ කටයුතු කළ ස්ලෙසින්ජර්, සති දෙකක් පුරා මරණයට එරෙහිව අරගල කළ සංගීතඥයෙකි.
ලුසියා බෝස්
අප අතරින් සමුගත් පළමු කලාකාරිනිය බවට පත්වීමට ඉතාලි නිළියක් වන ලුසියා බෝස්ට සිදුවිය. කොරෝනා තත්ත්වය අවසානයේ නියුමෝනියා තත්ත්වයට පැමිණීම නිසා මිය ගිය ඇය, ඒ වන විට 89 හැවිරිදි වියේ පසුවූවාය. ජනප්‍රිය ඉතාලි අධ්යක්ෂවරුන් යටතේ කටයුතු කළ ඇය රඟපෑ චිත්‍රපට අතර මයිකල්ඇන්ජලෝ අන්ටෝනියෝනිගේ ‘ The Lady Without Camelias’ සහ ෆ්රෙඩ්රිකෝ ෆෙලිනිගේ ‘Fellini Satyricon’ කැපී පෙනේ.
එලයිස් මාර්සලිස්
ජෑස් සංගීතයේ විශිෂ්ටයෙකු වන එලයිස් මාර්සලිස්ද, ඊයේ(01දා) මිය ගියේය. ඇල්බම 20ක් ලොවට දායාද කළ දක්ෂ පියානෝ වාදකයෙකු වන ඔහු, මිය යන විට 85 හැවිරිදි පසුවිය. සංගීතය පිළිබඳ උගත් ප්රාඥයෙකු ලෙස බොහෝ දෙනා හඳුනාගත් මාර්සලිස් විසින් දායාද කළ ගෝලයන් බොහෝය. ඒ අතරින් හැරී කොනික්,ටෙරන්ස් බ්ලැන්චඩ් ආදීහු කැපී පෙනෙති.දරුවන් හයදෙනෙකුගේ පියෙකු වූ එලයිස්, පුතුන් හතරදෙනෙකු සංගීත ලෝකයට දායාද කර දීමට සමත්ව ඇති අතර ජනප්‍රිය සැක්සෆෝන් වාදකයෙකු වන බ්රැන්ෆෝඩ් මාර්සලිස් ඒ අතරින් කැපී පෙනේ. ඒ අනුව තම පියාගේ මරණය සම්බන්ධයෙන් සටහනක් තබමින් බ්රැන්ඩ්ෆෝඩ් පැවසුවේ තම පියා සංගීතඥයෙකු,ගුරුවරයෙකුට වඩා අති විශිෂ්ට පියෙකු බවයි.
මාලන් විදානපතිරණ