කොරෝනා වෙනුවෙන් බොලිවුඩ් තරු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වන විට කොරෝනා වසංගතයෙන් වැඩියෙන්ම පීඩා විඳින්නේ ඉන්දියාවය. බුදුන් කල තුන් බියෙන් ඇලලුණ විසාලා මහනුවර තත්වයට දිල්ලිය පත්ව ඇතැයි මාධ්‍යවේදිහු කියති. රෝහල්වල පවතින්නේ දැඩි තදබදයකි. බෙහෙත්, අධි සත්කාර ඒකකවල ඇඳන්, ශ්වසනය පහසු කරන උපකරණ, ඔක්සිජන් හිඟය නිසා රෝගීන් ඥාතීන්ගේ ඇස් ඉදිරිපිටම මිය යන්නේ සියල්ලන් වේදනාවෙන් කම්පිත කරවමිනි.  ලෝකයේ බලවත් රටවලින් ආධාර ඉල්ලන තත්වයට ඉන්දියාව පත්ව තිබේ. තම රටට පිහිට වෙන ලෙස ප්‍රියංකා චොප්රා ඇමෙරිකානු ජනාධිපතිට සහ අනෙක් උසස් බලධාරින්ට ආයාචනා කළාය. 
“මගෙ රටේ තත්වය දැකලා මගෙ හදවත පිච්චෙනවා.. මේ වෙනකොට ඇමෙරිකාව වුවමනා ප්‍රමාණයටත් වඩා එන්නත් ඇණවුම් කරලා තියෙන්නෙ ආධාර වුවමනා රටවලට ඒවා බෙදා දීමේ අරමුණින්.. කරුණා කරලා මගේ රටටත් එයින් කොටසක් දෙන්න..”
එන්නත්වල නම ද සඳහන් කරමින් ඇය සිය ට්විටර් ගිණුමෙහි පළ කර තිබිණි. මේ පිළිබඳව සමහරු ප්‍රියංකාට ප්‍රශංසා කර තිබූ අතර සමහරු කියා තිබුණේ ඇය එන්නත්වලට ප්‍රචාරය දෙනු පිණිස එය පළ කළ බවය. 
“මේ වෙනකොට ඇමෙරිකාව ඉන්දියවට සහාය දෙන්න පොරොන්දු වෙලා ඉවරයි.. ඔයාට ඔය සටහන දාන්න තිබුණේ එහෙම එකඟ වෙන්න ඉස්සර වෙලා..”
“ඔයා බොරුවට කැපිල පේන්න දඟලනවා..”
මේ ආදී සිත රිදෙන ප්‍රකාශ ඇගේ ආයාචනයට පිළිතුරු වශයෙන් සඳහන් වී තිබුණත් සමහරු ඇය රටේ තත්වය පිළිබඳ දක්වන උනන්දුවට ප්‍රශංසා කර තිබිණි. ඇය සිය ට්විටර් ගිණුම හරහා ගිලන් රථ අංක, ඉඩකඩ ඇති රෝහල්වල තොරතුරු ආදියෙන් ජනතාව දැනුවත් කරන්නීය. 
ඕනෑම විපතකදී ජනතාවට පිහිට වෙන්නට පසුබට නොවන දානපතියන් අතරේ ඉදිරියෙන්ම සිටින්නේ ආක්ෂේ කුමාර්ය. පළමු වෙනි කොවිඞ් රැල්ල ඉන්දියාව ආක්‍රමණය කළ අවස්ථාවේ ද ඔහු ජනාධිපතිගේ කොවිඞ් අරමුදලට රුපියල් කෝටි විසිපහක් පරිත්‍යාගයක් කළේය. මෙවර ද ඔහු දැන් දේශපාලනයේ නිරත වෙන හිටපු ක්‍රිකට් ක්‍රිඩක ගෞතම් ගාම්භීර් ගේ කොවිඞ් අරමුදලට රුපියල් කෝටියක් පරිත්‍යාග කර තිබේ. රෝගීන් වෙනුවෙන් නොමිළේ ආහාර, බෙහෙත් සහ ඔක්සිජන් ලබා දීම ඒ අරමුදලේ අරමුණයි. 
“මේ අන්ධකාර අවස්ථාවේ කරන හැම පරිත්‍යාගයක්ම බලාපොරොත්තුවේ හිරු කිරණක්..”
ආක්ෂේට ස්තුති කරමින් ගෞතම් නිකුත් කළ පණිවිඩයේ එසේ ද සඳහන් වී තිබිණි. කොව්ඞ් ආසාදනය වීම නිසා ආක්ෂේ ද පසු ගිය මාසයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගත්තේය. 
හිටපු රූප රැජිනක මෙන්ම නිළියක ද වන සුෂ්මිතා සෙන් බොහෝ කම්පනයට පත් වූයේ දිල්ලියේ ශාන්ති මුකාන්ද් රෝහලේ  ප්‍රධානියා විසින් නිකුත් කරන ලද වීඩියෝ පටයක් දැකීමෙනි. සිය රෝහලේ ඔක්සිජන් සංචිතය සීමා වන්නේ තව පැය දෙකකට බැව් එයින් කියැවිණි. එම සංවේදී පුවත ඇගේ සිත දැඩිව කැළඹුවේය. වහා ක්‍රියාත්මක වූ ඇය සිය මිතුරන්ගේ ද උදව්වෙන් ඔක්සිජන් සිලින්ඩර කිහිපයක් සොයා ගත්තාය. ඊ ළඟට මතු වූයේ ඒවා මුම්බායි සිට දිල්ලියට ප්‍රවාහනය කිරීමේ ගැටළුවය. ඇය ඒ බැව් ට්විටර් ගිණුමේ පළ කර වැඩි වේලාවක් යන්නට පෙර එහි සිටින ඇගේ මිතුරෝ ඒවා ප්‍රවාහනය කරන්නට උදව් කළහ. 
හිටපු පකිස්තාන් ක්‍රිකට් ක්‍රිඩක ෂොයිබ් අක්තාර් ඉන්දියාවට උදව් කිරීම සඳහා සිය රසිකයන් පොළඹවන්නට ඉදිරිපත් වීම පිළිබඳව ලෝ වාසී සියලු දෙනාගේම ප්‍රශංසාවට ලක් වී තිබේ. 
“අපේ අසල්වැසියා මේ වෙනකොට ලොකු විපතකට මූණ දීලා ඉන්නෙ.. මේ වෙලාවේ අපි හැමෝම එකතු වෙලා ඔවුන්ට උදව් කරන්න ඉදිරිපත් වෙන්න ඕන.. අපි අරමුදල් පිහිටුවන්න ඕන.. ඔවුන් වෙනුවෙන් කළ හැකි හැම පරිත්‍යාගයක්ම කරන්න ඕන..” ඔහු වීඩියෝවක් හරහා ආයාචනා කර තිබේ. 

20210517Corona-1 20210517Corona-2 20210517Corona-3 20210517Corona-4



More In Hot Story