කොටියෙක් කරපු හදියක්
සංචාරක මඟ පෙන්වන්නෙක් වන හැරී පන්ජාබ් ජාතිකයෙකි. ඔහු ගුජරාටි යුවතියක වන සේජාල්ට ඇගේ නැති වුණ විවාහ ගිවිස ගැනීමේ මුදුව සොයා ගන්නට උදව් වෙයි. ජැබ් හැරි මෙට් සේජාල් චිත‍්‍රපටියේ මේ චරිත දෙක රඟ පාන්නේ ෂාරුක් ඛාන් සහ අනුෂ්කා ෂර්මාය. මෙහි ප‍්‍රචාරක කටයුතු සඳහා වෙහෙසෙමින් සිටින ඔවුහු ඒ සඳහා යොදා ගත හැකි හැම අවස්ථාවක්ම ප‍්‍රයෝජනයට ගනිති. මෙම චිත‍්‍රපටිය තිරගත වන්නේ අගෝස්තු 4 දා සිටය.
රූපවාහිනියේ ජනපි‍්‍රය ටෙලි නාට්‍යවල පෙනී සිටිමින් චිත‍්‍රපටි ගැන ප‍්‍රචාරය කිරීම දැන් නළු නිළීයන් වැඩි දෙනෙක් යොදා ගන්නා ජනපි‍්‍රය ක‍්‍රමයකි. ඒ අනුව ඉන්දියානු රූපවාහිනියේ ජනපි‍්‍රය ටෙලි නාට්‍යයක් වන යේ රිෂ්ටා ක්‍යා කැහැතා හෑ ටෙලි නාට්‍යයේ දර්ශනයක ෂාරුක් ඛාන් සහ අනුෂ්කා ෂර්මා පෙනී සිටියහ. ඔවුන් පෙනී සිටි දර්ශනය රූගත කෙරුණේ ඉන්දියාවේ වන සතුන් බහුල පෙදෙසකය. විශේෂයෙන්ම කොටි ගැවසෙන පෙදෙසක් ලෙස එය ප‍්‍රසිද්ධ වී තිබේ. එම නිසාම හවස් වරුවේ දර්ශනය රූගත කරන්නට කටයුතු යොදා තිබිණි. එහෙත් නොවැළැක්විය හැකි හේතුවක් නිසා පාන්දර දෙක වන තුරුම රූගත කිරීම ඇදී ගියේය. ඒ අතරතුර ෂාරුක්ගේ අංගාරක්ෂකයෙක් දර්ශන තලයට එන කොටියෙකු දැක තිබේ. කලබල වූ ඔහු අනෙක් අයට ඒ බව දැනුම් දුන්නේය. ඒ පැටවෙකු ද සහිත කොටි දෙනක් බැව් දුටු විට ඔවුහු භීතියෙන් සසල වූහ. පැටවුන් සහිත කොටි දෙනුන්ගේ නපුරුකම් ගැන බොහෝ කතාන්දර ඔවුන් අසා තිබිණි. කොටි දෙන කාටවත් කරදරයක් නොකර නික්ම ගියත් පිරිසේ කම්පනය අඩු වන තුරු සෑහෙන වේලාවකට රූගත කිරීම් ද නවත්වන්නට සිදු විණි.