කිම් කාර්ඩේෂියන්ගේ දුවට නත්තලට ලැබුණ කෝටි ගාණක් වටින මයිකල් ජැක්සන්ගේ ජැකට් එක
සාමාන්‍යයෙන් අවුරුදු 6ක ගැහැණු ළමයෙකුට මේ පාර නත්තලට ලැබුණු තෑග්ග මොකක්ද කියලා ඇහුවොත් ඔබේ පිළිතුර බොහෝවිට බාර්බි කෙනෙක්, බෝනික්කෙක්, සෙල්ලම් උපකරණ කට්ටලයක් වගේ එකක් වෙනවට සැකයක් නෑ. හැබැයි ඉතින් මෙදා පාර නත්තලට ඒ ප්‍රශ්නේ ඇහුවම බොහොම වෙනස් පිළිතුරක් ලැබෙන විදිහේ කතාවක් තමයි අපි මේ කියන්න යන්නේ.
ලෝක ප්‍රසිද්ධ තාරකාවියක් වුන කිම් කාර්ඩේෂියන් සහ කැනී වෙස්ට් එකතු වෙලා අවුරුදු 6ක් වුන තමන්ගේ වැඩිමහල් දියණියට නත්තල වෙනුවෙන් අරුම පුදුම තෑග්ගක් දීලා තියනවා. ඇත්තටම කිව්වොත් ගොඩක් වටිනා තෑග්ගක්. සමහර කෙනෙක්ට මේක වටිනාකම කියලා නිම කරන්න බැරි විදිහේ තෑග්ගක් විදිහට හඳුන්වන්නත් පුළුවන්.
මොකක්ද දන්නවද ඇත්තටම මේ තෑග්ග? ඒ තමයි ලෝක ප්‍රසිද්ධ ගායන ශිල්පී මයිකල් ජැක්සන්ගේ ඉතා වටිනා කළු වෙල්වට් ජැකට් එකක්. ලෝකයේම ආදරය දිනාගත්ත මේ අමරණීය ගායකයාගේ ජැකට් එකක් මොනතරම් වටිනා එකක් වෙනවා ඇති කියලද ඔබ හිතන්නේ? මේක එසේ මෙසේ ජැකට් එකක් නෙමෙයි මේක දියමන්ති ඔබ්බවපු ජැකට් එකක්. ඒ වගේම ඒ ජැකට් එක තමයි මයිකල් ජැක්සන් එලිසබෙත් ටේලර්ගේ 65 වන උපන්දින සාදයට සහ 90 දශකයේ තිබුන කෑන්ස් හි හොස්ට් ප්‍රදර්ශනයකට ඇඳගෙන ගිහිල්ල තියෙන්නේ.
“නත්තලට, කැනී සහ මම නෝර්ත්ට මේ ජැකට් එක දුන්නා. මයිකල්, එලිසබෙත් ටේලර් සමඟ පැළඳ සිටි ජැකට්ටුවක් මේක. නෝර්ත් ඇත්තටම ලොකු මයිකල් ජැක්සන් රසිකයෙක් වන නිසා ඇය මේකට ආදරය කරන බව අපි දැනගෙන හිටියා." යනුවෙන් කිම් කාර්ඩේෂියන් තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ස්ටෝරි එකක් විදිහට වීඩියෝ එකක් දාලාත් තිබුනා.
කොහොම වුනත් ඩොලර් 65,625ක් වගේ අති විශාල මුදලකට කිම් සහ කැනී මේ ජැකට් එක අරගෙන තියෙන්නේ පහුගිය ඔක්තෝම්බර් මාසේ නිව්යෝර්ක් වල පැවති වෙන්දේසියකදී කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.