කල් දැමුණ මඟුල
කොරෝනා හේතුවෙන් රට වසා දැමීම නිසා බොහෝ දෙනෙකුට සිය මංගල උත්සව කල් දැමීමට සිදු වූයේය. රිචා චාදා සහ ඇගේ පෙම්වතා අලි ෆයිසාල් ද මේ අතර වෙති.
“ඇත්තටම වෙඩින් එක කල් දමන්න වුණ එක ගැන හිතේ දුකක් නැතුවා නෙමෙයි.. අපි හැම දෙයක්ම ලෑස්ති කරමින් හිටියෙ.. හැබැයි ඉතින් ලොකුවට මඟුල් කන්න බලාපොරොත්තුවක් අපිට තිබුණෙ නෑ.. මඟුලක් කියන්නෙ ජීවිතේ වැදගත් අවස්ථාවක්..
ඒ අවස්ථාවෙදි සුබ පතන්න එකතු වෙන්න ඕන සමීපතම නෑ හිතමිතුරන් විතරයි.. කොහොම වුණත් මේ ප්‍රශ්න ඉවර වෙලා රට හොඳ තත්වයට එනකම් අපිට ඉවසන්න වෙනවා..”
මෑතකදී මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් අලි පැවසීය.
තමාට මඟ හැරුණේ මංගල උත්සවය පමණක් නොවන බැව් රිචා නම් කියන්නීය. විනෝද ගමන් යාමට, අධිවේගී මාර්ග දිගේ ඔහේ රිය පදවාගෙන යාමට තිබූ අවස්ථා ද ඇයට මඟ හැරී ගියේය.
නිවසටම වී සිටි දිනවල ඇය ඉවුම් පිහුම් වලට ද කාලය වෙන් කළාය.
“උයන්න ගිහින් මට සිද්ද වුණ අකරතැබ්බත් අනන්තයි.. ඒත් ඉතින් ඒවා විවේචනය කරන්න කිසිම කෙනෙක් නෑ.. මට කන්න පුළුවන් වෙන විදියට මොනවා හරි කෑම වේලක් හදා ගත්තම හොඳටම ඇති.. ඒක රස ද ගුණ ද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි..”
ඇය කියන්නේ සිනාසෙමිනි.