කතුන් වෙනුවෙන් පෙනී ඉන්න දියා මිර්සා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2017-03-16-ent-255

‘‘අධ්‍යාපනය දේශපාලනීකරණය වීම ලොකු විනාශයක්.. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ජීවිත තුළට දේශපාලනය පැමිණීමෙන් ඔවුන් එකිනෙකාට වෛර කරන පිරිසක් බවට පත්වෙනවා. අපේ ජීවිතවල හුඟාක් ගැටළු තියෙනවා. ඒවා විසඳා ගන්න උත්සාහ කරනවා වෙනුවට ඇයි අපි අනික් අයට වෛර කරන්න අපේ කාලය නාස්ති කරන්නෙ...? එකිනෙකා එක්ක ගහ මරා ගන්නේ නැතිව සාකච්ඡුා මාර්ගයෙන් සුබවාදී විදියට විසඳුම් හොයා ගන්න බැරිද...? හැම දෙනාටම ඕන වෙන්නෙ තමන්ගේ මතය අනිත් එක්කෙනාට කා වද්දන්න. ඇයි අපට හිතන්න බැරි අනිත් අයටත් තමන්ගෙ මතය ප‍්‍රකාශ කරන්න නිදහසක් තියෙනව කියලා. ඇත්තටම අපි අනික් අයට ගෞරව කරන්න පුරුදු වෙනවා නම් හුඟාක් ගැටළු අවම කරගන්න පුළුවන්....’’

දියා මිර්සා මෙසේ පැවැසුවේ දිල්ලියේ විශ්වවිද්‍යාල තුළ ඇති වන විරෝධතා ව්‍යාපාර රැලි ගැටුම් ආදිය පිළිබඳව අදහස් දක්වමිනි.

දියා මිර්සා නිළියක පමණක් නොවේ. ඇය නිරූපිකාවකි. චිත‍්‍රපටි නිෂ්පාදකවරියකි. රූ රැජිනකි. ඇය 2000 වසරේදී ආසියා පැසිපික් රූ රැජින බවට පත්වුවාය. සමාජ සේවා කටයුතු සමඟ ඇගේ නම සමීපව බද්ද වී පවතියි.

දියා මිර්සාගේ පියා චිත‍්‍ර ශිල්පියෙකු ගෘහ නිර්මාණ ශිල්පියෙකු මෙන්ම ගෘහාභ්‍යන්තර අලංකරණ ශිල්පියෙකු වූ ෆ‍්‍රෑන්ක් හැන්ඞ්රිච්ය. ඔහු ජර්මන් ජාතිකයෙකි. ඇගේ මව දීපා බෙන්ගාලි හින්දු කාන්තාවක වන අතර ඇයද ගෘහ අභ්‍යන්තර අලංකරන ශිල්පිනියක සහ උද්‍යාන අලංකරණ ශිල්පිනියකි. එමෙන්ම ඇය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ඉන් මුදවා ගන්නා ආයතනයක ස්වේච්ඡා සේවිකාවක ලෙසද කටයුතු කළාය.

දියාගේ වයස අවුරුදු හතර හමාරක් වෙද්දී ඇගේ මවත් පියාත් දික්කසාද වූහ. ඇගේ මව හයිද්‍රාබාද්හි ඉන්දියානු මුස්ලිම් ජාතිකයෙකු වූ අහමඞ් මර්සා සමඟ විවාහ වූවාය. සුළු පියා ඔහුගේ වාසගම දියාට දුන්නේය. ඇය දියා මිර්සා වූයේ ඉනික්බිතිවය. ඇගේ සුළු පියා 2013 දී මිය ගියේය.

විද්‍යාරන්‍ය උසස් විද්‍යාලයෙන් සහ නසාර් මුස්ලිම් පාසලින් මුලික අධ්‍යාපනය ලද දියා අම්බේකාර් විවෘත විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තාය.

ඇය විවාහ වූයේ 2014දී සිය දිගු කාලීන ව්‍යාපාර සහකරු සාහිල් සංහා සමඟය.

නිරූපිකාවක වූ ඇය ලිප්ටන්, වෝල්ස් අයිස්කී‍්‍රම්, එමාමි ඇතුළු රූපවාහිනි දැන්වීම් ගණනාවකම පෙනී සිටියාය.

ඇය සිනමාවට පිවිසියේ රැුහැනා හෑ තෙරේ දිල් මෑ චිත‍්‍රපටියේ රඟපාමිනි. එය ආදායම් ලැබීම අතින් සාර්ථක වුයේ නැත. ඉනික්බිතිව ඇය ඩුම්, දිවානාපන්, තුම්කෝ න භූල් පායෙන්ගේ, තුම්සා නහී දේවො, පරිනීතා, සාලම් මුම්බායි ආදී චිත‍්‍රපටිවල රඟපෑවාය.

ඇය වඩාත් ජනප‍්‍රසාදයට පත්වූයේ ඇය විසින් කරනු ලබන සමාජ සේවා කටයුතු තුළිනි. පරිසරය සුරැකීම, කාන්තා හිංසනය දුරලීම, ඒඞ්ස් පිළිබඳව දැනුවත් කිරීම, පිළිකා රෝගී සංගම් ආදි සංවිධානවල කි‍්‍රයාකාරී සාමාජිකාවක වීම නිසා ඇයට සම්මානද හිමිවූවේය. ඇය හින්දුස්ථාන් ටයිම්ස් ඇතුළු පුවත්පත් සඟරාවලට ලිපි සපයන ලේඛිකාවකද වන්නීය.

‘‘මං හිතන්නේ නෑ අපේ රටේ කාන්තාවෝ තමන්ගේ මතය ඉදිරිපත් කරන්න කතා කරන එකෙන් වළක්වන්න කාටවත් පුළුවන් කියලා. ඔවුන් තමන්ගේ හඬ අවදි කරන්න ඕන. ඔවුන් බල ගැන්වෙන්න ඕන. මම සමානාත්මතාව ගැන හුඟාක් විශ්වාස කරන කෙනෙක්. අපි පිරිමින්ට ගරු කරනවා වගේම පිරිමිත් අපට ගරු කරන්න ඕන. එතකොට තමයි කාන්තාවන්ට සැකයෙන් බියෙන් තොර සමාජයක ජීවත් වෙන්න හැකියාව ලැබෙන්නෙ....’’ දියා කියන්නීය.

එමෙන්ම ඇය පරිසර දූෂණය අවම කර සුවදායී හෙටක් නිර්මාණය කිරීමේ කටයුතුවලටද කි‍්‍රයාකාරීව දායකවන්නීය.

 

2017-03-16-ent-254