කත්‍රිනාගේ නැගණිය බොලිවුඩයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඥාති සංග්‍රහය පිළිබඳව බොලිවුඩය තරම් නම් දැරූ ක්ෂේත්‍රයක් තවත් නැති තරම්ය. එහි තැනක් ලබා ගන්නට නම් ස්ථාවර වූ ප්‍රබල ඥාතියෙකු සිටිය යුතුමයයි මතයක් පවතී. සැබැවින්ම ක්ෂේත්‍රයේ වැඩිපුරම සිටින්නේ නළුනිළියන්ගේ, අධ්‍යක්ෂවරුන්ගේ, නිෂ්පාදකයන්ගේ දූදරුවන් ඇතුළු ඥාතීන්ය. එවන් අයෙකුගේ උපකාරයකින් තොරව ක්ෂේත්‍රයට පැමිණ ජනප්‍රිය වී සිටින්නේ කිහිප දෙනෙක් පමණකි. කත්‍රිනා කායිෆ් ද ඒ අතරින් කෙනෙකි. 
නිරූපිකාවක වූ ඇය මෝස්තර දැක්මකදී දුටු ඉන්දියානු චිත්‍රපටි නිෂ්පාදකයෙකු ඇය සිය චිත්‍රපටියක් සඳහා යොදා ගත්තේය. ඇයට හින්දි භාෂාව කතා කරන්නට අසීරු වීම නිසා බොහෝ නිර්මාණකරුවෝ ඇය සිය නිර්මාණවලට යොදා ගන්නට පැකිලුණහ. එහෙත් අභියෝගවලට එඩිතරව මුහුණ දෙන අය විසින් ඇයට අවස්ථාව ලබා දෙනු ලැබිණි. එහි ප්‍රතිඵලයක් වූයේ ඇය බොලිවුඩයේ වැඩිම ගෙවීමක් ලබන මුල් පෙළේ නිළියන් කිහිප දෙනා අතරට පැමිණීමය. 
දැන් කත්‍රිනා ගේ බාලම නැගණිය ඉසබෙල් ටයිම් ටු ඩාන්ස් චිත්‍රපටිය තුළින් බොලිවුඞ් ක්ෂේත්‍රයට පැමිණ සිටින්නීය. මෙහි ඇය රඟ පාන්නේ සූරජ් පංචෝලි සමඟය. එය ඉසබෙල් ගේ පළමු හින්දි චිත්‍රපටිය වන්නා සේම සූරජ්ගේ පළමු නර්තන චිත්‍රපටිය ද වන්නේය. 
“මම නැටුම්වලට හරිම කැමතියි.. විශේෂයෙන්ම හිප්හොප් නැටුම් මම ප්‍රිය කරනවා.. මේ චිත්‍රපටිය නිසා මට බෝල් රූම් නැටුම්, වගේම ලතින් නැටුම් මාදිලිත් හදාරන්න සිදු වුණා.. ඇත්තටම මම මේ වෙනකම් බෝල් රූම් නැටුම් නටන්න උත්සාහ කරලා තිබුණේ නෑ..”
බොම්බේ ටයිම්ස් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඉසබෙල් පැවසුවාය. 
“මට සාමාන්‍යයෙන් නැටුම් පුළුවන්.. ඒත් කවදාවත් ලතින් නැටුම් ඉගෙනගෙන තිබුණෙ නෑ.. ලතින් නැටුම් වර්ග දහයක් තියෙනවා කියලා දැන ගත්තම මම පුදුම වුණා.. ඇත්තටම ඒවා එකකට එකක් වෙනස් ඒවා.. ඉගෙන ගන්න හරිම අමාරුයි.. ඒත් ඉසබෙල් මට වඩා හොඳ නර්තන ශිල්පිනියක්.. ඇගේ පළමු චිත්‍රපටිය මේක වුණත් ඇය තමයි මට නර්තනය පහසු කළේ.. ඒ පැත්තෙන් ඇය මට උදව් කරනකොට හින්දා භාෂාව තේරුම් ගන්න මම ඇයට උදව් කළා..” සූරජ් පැවසුවේ හිනැහෙමිනි. 
ඉසබෙල් ගේ මව ඉංග්‍රිසි ජාතික කාන්තාවක් වන අතර පියා කාශ්මීර ජාතිකයෙකි. කත්‍රිනා ඇයගේ ලොකු අක්කා වන අතර තවත් අක්කලා පස් දෙනෙක් ද, අයියා කෙනෙක් ද ඇයට සිටින්නේය. ඇය  නිරූපිකාවක ලෙස වෘත්තීය ජිවිතය ඇරඹුවේ වයස අවුරුදු 14 දීය.
“පුංචි කාලේ ඉඳලම බොලිවුඞ් මගෙ හිතට සමීපයි.. මම හුඟාක් හින්දි චිත්‍රපටි බලන්න පුරුදු වෙලා හිටියා.. මගේ අම්මත් එහෙමයි.. ඇය ලගාන් චිත්‍රපටිය මට කී වාරයක් පෙන්නුව ද කියලා මට මතකත් නෑ. ඒ වගේම කාජල් ඉන්න චිත්‍රපටි බලන්නත් මම හරි කැමතියි.. ඇත්තටම මගේ ප්‍රියතම නිළිය තමයි කාජල්..” ඇය කීවාය.
කත්‍රිනා බොලිවුඩය තුළ සාර්ථක වෙද්දී ඉසබෙල්ට ද ඒ පිළිබඳ ආශාවක් ඇති වූයේය. එම නිසාම ඇය රඟපෑම, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය පිළිබඳව හැදෑරීම සඳහා ලොස් ඇන්ජලීස්හි පාසැලකට ඇතුළත් වූවාය. කත්‍රිනා ඇයට විශාල ශක්තියක් වූයේය. මුම්බායිවලට පැමිණි විට ඇය තමාට දුන් උපදෙස වන්නේ මේ ක්ෂේත්‍රය ජීවිතයටත් වඩා විශාල බවත්, එහි රැඳී සිටින්නට නම් බොහෝ වෙහෙස වී වැඩ කළ යුතු බවත්යයි ඉසබෙල් කියන්නීය.

20210325Kaif-1 20210325Kaif-2 20210325Kaif-3