කංගනා රනවුත් ගේ ජයග්‍රහණය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මණිකර්ණිකා සහ පංගා චිත්‍රපටිවල විශිෂ්ට රඟ පෑම වෙනුවෙන් කංගනා ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඒ ඇගේ හතර වෙනි ජාතික සම්මානයයි. එම සතුට ද, ඇගේ ඊ ළඟ චිත්‍රපටිය වන තලයිවි හි ප්‍රචාරක පටය එළි දැක්වීම ද, ඇගේ උපන් දිනය යෙදුණ මාර්තු 23 දාම සමරන්නට කංගනා රනවුත්ට අවස්ථාව ලැබිණි. 
ඇය උපත ලද්දේ 1987 හිමාචල් ප්‍රදේශයේ මනාලි නගරය ආසන්නයේය. දෙහ්රාදුන් උසස් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඇය අධ්‍යාපනයට පමණක් නොව බාහිර ක්‍රියාකාරකම්වලට ද දස්කම් දැක්වූවාය.  කථික තරඟ, උච්චාරණ තරඟ ආදියට නිරතුරුවම සහභාගි වූ ඇය දක්ෂ බාස්කට්බෝල් ක්‍රිඩිකාවක් ද වූවාය. කෙදිනක හෝ වෛද්‍ය අංශයේ රැකියාවක් තෝරා ගැනීමේ බලාපොරොත්තුව ඇය තුළ තිබිණි. 
එහෙත් දෛවය ඇයට තෝරා දුන්නේ රංගන වෘත්තියයි. ඇය කතක් නැටුම් හැදෑරුවා ය. වේදිකා නාට්‍ය පුහුණු පාසැලකට ද බැඳුණාය. ඇය මුලින්ම රඟ පෑවේ තලේදන්දා වේදිකා නාට්‍යයේය. ඉන් පසුව ඇය කිසිදු ආපසු බැලීමකින් තොරව ඒ මාවත දිගේ ඉදිරියටම ගියාය. ඇය රංගනය ජීවන වෘත්තිය ලෙස තෝරා ගත් බැව් ඇගේ මව්පියන් මුලින් දැන සිටියේ නැත. එය දැන ගත්තාට පසුව ඔවුන්ගේ බලවත් විරෝධය එල්ල වූයේය. එහෙත් ඇය ඔවුන් සමඟ තර්ක කර කෙසේ හෝ සිය සිහිනය සැබෑ කර ගත්තාය. 
ඇය බොලිවුඩයට එක් වූයේත් අදහා ගත නොහැකි ආකාරයටය. 2005 දී අනුරාග් බාසු සිටියේ ඔහුගේ අලුත් චිත්‍රපටිය ගෑංග්ස්ටර් සඳහා අලුත් නිළියක් සොයමිනි. අවන් හලකදී කංගනා දුටු දිනයේ ඔහුගේ ඒ සෙවීම නිමා වූයේය. කංගනා රනවුත් එහි ප්‍රධාන චරිතය රඟ පෑවා පමණක් නොව ක්ෂේත්‍රය තුළ නොමැකෙන නමක් ද රඳවා ගත්තාය. 
ඇය චිත්‍රපටි ගැන පමණක් නොව සිය සිරුරේ හැඩය හා මනා සෞඛ්‍යය පවත්වා ගැනීම, ඇඳුම් මෝස්තර පිළිබඳව ද සැළකිලිමත් වන්නීය. ඇය අනුභව කරන්නේ එළවළු ආහාර පමණකි. විවේකී අවස්ථාවල ඇගේ ආහාර පිළියෙළ කර ගනු ලබන්නේ ඇය විසින්මය. ආදරය වෙනුවෙන්ම මිස ජීවන පැවැත්ම උදෙසා හෝ අනෙක් අයගේ බලපෑම නිසා විවාහ විය යුතු නැතැයි ඇය අදහන්නීය.

20210410Kangana-1 20210410Kangana-2