ඔස්කා සම්මාන ඉතිහාසය වෙනස් වන ලකුණු
89 වැනි ඔස්කා සම්මාන රාත්‍රිය මෙම වසරේ මාර්තු මාසයේ 04 වැනිදා පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙවර ඔස්කාර් සම්මාන වෙනුවෙන් පසුගියදා නිර්දේශ වී ඇති නම් පිළිබඳ පසුගියදා අනාවරණය කෙරිණි. ඔස්කා සිනමා සම්මාන උලෙළ ඉතිහාසයේ කිසිදු අවස්ථාවක කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් කාන්තාවකගේ නම නිර්දේශ වී නොමැත.
නමුත් 2017 වසර වෙනුවෙන් පැවැත්වීමට නියමිත 89 වැනි ඔස්කා සම්මාන උලෙළට කැමරා ශිල්පිනියක් නිර්දේශ වී තිබේ. ඒ ‘මඩ් බවුන්ඩ්’ නම් වූ චිත්‍රපටය වෙනුවෙන් රැචල් මොරිසන්ය. ඔස්කා සම්මාන ඉතිහාසය වෙනස් කරන්නට සමත්ව සිටින රැචල් ඒ පිළිබඳ සිය ට්විටර් ගිණුමේද සටහනක් තබා තිබේ. රැචල් මොරිසන් රූගත කළ ‘මඩ් බවුන්ඩ්’ චිත්‍රපටය වෙනුවෙන් ඇයට නිව්යෝර්ක් සිනමා විචාරක සංසදය හොඳම කැමරා ශිල්පිනියට හිමි සම්මානයද පිරිනමා ඇති අතර, ඇය කැමරා අධ්යක්ෂණයට පිවිස ඇත්තේ 2002 වසරේ තිරගත වූ ‘අල්චිමි’ නම් කෙටි චිත්‍රපටයෙනි.