ඓශ්වර්යා දිවිනසා ගත් පුවත බොරුවක්
පසුගිය සති කිහිපය තිස්සේ ඇතැම් වෙබ් අඩවිවල පළවී තිබූ පුවතකින් බොහෝදෙනෙකු අතිශය කම්පාවට පත්වුණා. ඒ පුවතෙහි සඳහන් වුණේ ලොවම දිනූ රෑ රැජින, බොලිවුඩ් නිළි ඓශ්වර්යා රායි සියදිවි හානිකර ගත් බවයි.
"දිල් හේ මුෂ්කිල්’ චිත්‍රපටයේ රන්බීර් කපූර් සමග ඇය නිරූපණය කළ පෙම් ජවනිකා ඇගේ සැමියා වන අභිෂේක් භච්චන්ගේ දෝෂදර්ශනයට ලක්වීම මෙයට හේතුව වූයේ යැයි සඳහන් වුණා. අභිෂේක්ගේ බැණුම්වලින් කලකිරුණු ඓශ්වර්යා, ඖෂධ පෙති විශාල ප්‍රමාණයක් පානය කර ඇතැයිද සඳහන් වුණා. මෙයින් පසුව භච්චන් නිවසට වහාම වෛද්‍යවරයකු කැඳවූ අවස්ථාවේදී "මට මැරෙන්න දෙන්න, මෙහෙම දුක් විඳිනවට වඩා මැරෙන එක සැපයි’ යනුවෙන් ඓශ්වර්යා පැවසුවේ යැයිද එම වෙබ් අඩවිවල සටහන් වී තිබුණා.
නමුත්, මේ පුවත බොරුවක් යැයි දැන් හෙළි වී තිබෙනවා. සිද්ධිය වූයේ යැයි සඳහන් වූ දිනයට පසුදාම ඓශ්වර්යා, මෝස්තර ශිල්පී මනිෂ් මල්හොත්රාගේ 50වැනි උපන් දින උත්සවයටත් සහභාගී වී තිබුණා.
එපමණක් නොව පසුගිය සතියේ ඇය, තම සැමියා අභිෂේක් සහ දියණිය ආරධ්‍යා සමග ඩුබායි දේශයේ දින කිහිපයක් විවේකීව කාලය ගත කළ බවත් සඳහන් වුණා. ඩුබායි වෙතින් නික්මුණු ඔවුන් ඉන්පසුව පිටත්ව ගොස් ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයටයි. ලබන ජනවාරි මැද වනතුරු ඔවුන් එහි නිවාඩුව ගත කරනු ඇතැයි සඳහන් වෙනවා. මෙවැනි පුවත් පළකිරීම සම්බන්ධයෙන් ඇය දැඩි කනස්සල්ලට පත්වන බවත්, ඇයගේ රසිකයන්ට එවැනි පුවත් පිළිබඳව සැලකීමක් නොදක්වන ලෙසත් ඇය ඉල්ලා තිබෙනවා.