එදා සිනා තාම ඇසෙයි, සුතාපා, ඉම්රාන් ගැන කියයි
ද වොරියර්, ස්ලම්ඩෝග් මිලියනයර්, ද නේම්සේක්, ද ඩාර්ජීලින් ලිමිටඞ්, නිව්යොර්ක් අයි ලව් යූ, ජුරාසික් වර්ල්ඞ්, ඉන්ෆාර්නෝ වැනි ජාත්‍යන්තර චිත්‍රපටිවල ද, සලාම් බොම්බේ, ද්රිස්ති, මදාරි වැනි හින්දි චිත්‍රපටි රැසක ද රඟ පෑ සම්මානනීය නළුවෙකු වූ ඉර්ෆාන් ඛාන් අප්‍රේල් මාසයේදී පිළිකා රෝගය හේතුවෙන් මිය ගියේය. ඔහු අවසානයට රඟ පෑවේ අංග්රේසි මීඩියම් චිත්‍රපටියේ චම්පක් බන්සාල් චරිතයයි. ඔහු ශ්‍රීකාන්ත්, චානක්‍ය, චන්ද්‍රකාන්ත, සත්‍යා, ටෝකියෝ ට්‍රයල් ඇතුළු ටෙලි නාට්‍ය රැසක ද චරිත නිරූපණය කර තිබේ. මිය යන විට ඔහු පසු වූයේ 53 වැනි වියේය. ඔහුගේ මරණය පිළිබඳව සොව පළ කළ අය අතර ඉන්දියානු අගමැති මෝදි මෙන්ම හොලිවුඞ් ක්ෂේත්රයේ දැවැන්තයෝ ද වූහ.
ඉර්ෆාන් ගේ බිරිඳ සුතාපා සික්දාර් ලේඛිකාවකි. ඔවුන් දෙදෙනා හමු වී තිබුණේ ජාතික නාට්‍ය පාසැලේ අධ්‍යාපනය හදාරද්දීය. 1995 දී විවාහ වූ ඔවුන්ට බාබිල් සහ අයාන් නම් පුතුන් දෙදෙනෙකි.
“ඇත්තටම මට අහිමි වුණේ මගේ ජීවිතේ වටිනාම කොටස.. ඒ වේදනාව හැමදාම මගේ ළඟ රැඳිලා තියෙයි..”
පසුගියදා ඉන්දියා ටුඬේ වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවකට එකතු වෙමින් සුතාපා පැවසුවාය.
පිළිකා රෝගයට ප්‍රතිකාර ගනිමින් සිටියදීම ඔහු අංග්රේසි මීඩියම් චිත්‍රපටියේ රූගත කිරීම්වලට සහභාගි වූයේය. ඔහු එසේ ගියේ මන්දැයි මාධ්‍යවේදියා විසින් සුතාපාගෙන් අසනු ලැබිණි.
“ඇත්තටම ඒ වෙනකොට ඔහුගේ අසනීපය හොඳටම පාලනය වෙලා තිබුණේ.. ස්කෑන් පරීක්ෂණවලිනුත් ඒක පෙන්නුම් කළා.. ඒ වගේම ඔහු චිත්‍රපටියේ අධ්යක්ෂ හෝමි අදාජානියට හා නිෂ්පාදක දිනේෂ් විජ්ජාන්ට හුඟක් ආදරය කළා.. ඔවුන් විශ්වාස කළා.. ඉර්ෆාන් තමන්ගේ හැකියාවන් විශ්වාස කරපු කෙනෙක්.. කාගෙන්වත් යැපෙන්න කැමති වුණෙත් නෑ.. මං හිතන්නෙ මුදල් ඉපැයීමේ පරමාර්ථයත් ඔහු තුළ තියෙන්න ඇති..” ඇය කීවාය.
එහෙත් ඇයට වුවමනා වුණේ ඔහු නිවසට වී තවත් ටික කලක් විවේක ගන්නවා දකින්නටය. ඔහු එයට කැමති වුයේ නැත. එතෙර මෙතෙර වෛද්‍යවරුන් පැවසුවේ ඔහු තව දුරටත් පිළිකා රෝගියෙකු ලෙස නොසළකා වැඩ කරන්නට ඉඩ දෙන ලෙසය. ඔහුගේ ආත්ම ශක්තිය වැඩි කරවන්නට එය ප්‍රයෝජනවත් වනු ඇතැයි ඔවුහු පැවසූහ.
“පිළිකාව කියන්නෙ මාරාන්තික රෝගයක්.. ඒක යටපත් වෙලා තිබ්බත් කොයි වෙලාවේ මතු වෙනව ද කියලා කාටවත් කියන්න පුළුවන්කමක් නෑ.. ඒත් මං හිතුවා ඇයි මං ඒ ගැන වද වෙලා ඉර්ෆාන්ගෙ සතුට නැති කරවන්නෙ කියලා.. ඉතින් මාත් ජීවිතේ පළවෙනි වතාවට ඔහු එක්ක දර්ශන තලයටම ගියා.. දිවා රාත්‍රි ඔහු ළඟින්ම ඉඳලා ඔහුගේ කෑම, බේත්හේත් වෙලාවටම දුන්නා.. අපි හිටියෙ හුඟාක් සතුටින් කිව්වොත් ඒක බොරුවක් නෙමෙයි.. ඉර්ෆාන් හෝමි එක්ක හුඟාක් විනෝද වුණා.. තමන්ගෙ රෝගයට හිනා වුණා.. මම හෝමිටයි විජ්ජාන්ටයි ණයගැතියි ඔහුට දුන්න ඒ සතුටට.. අදටත් මගෙ හිතේ ඒ හිනා හඬවල් දෝංකාර දෙනවා..” ඇය හැඟුම්බර හඬින් පැවසුවාය.
ඉර්ෆාන් සිය පුතුන් දෙදෙනාට බොහෝ ආදරය කළේය. එමෙන්ම කුඩා කාලයේදී තමා ලබා ගන්නට ප්‍රිය කළ, එහෙත් තමාට නොලැබුණ නිදහස ඔහු සිය පුතුන්ට ලබා දුන්නේය. ඔහුට සිය පියා සමඟ සමීපව අදහස් හුවමාරු කර ගන්නට අවස්ථාව ලැබුණේ නැත. ඔහු හැම විටම පුතුන් කියන දේවල් අසා සිටින්නට තරම් ඉවසිලිමත් වූයේය. සාමාන්‍ය හැසිරීම් දෙස බලා ඔවුන් විනිශ්චය කරන්නට ඔහු ඉක්මන් වූයේ නැත.
“ඉර්ෆාන් කියන්නෙ අපි චිත්‍රපටිවල දකින, නවකතාවල දකින සැමියෙක් නෙමෙයි.. රෝස මලක් ගෙනත් දීලා මගේ උපන් දිනයට සුබ පතන්න, පෙම්වතුන්ගේ දිනය සමරන්න ඔහු කවදාවත් ඉදිරිපත් වුණේ නෑ.. කොටින්ම කියනවා නම් තමන්ගේම උපන් දිනෙත් ඔහුට මතක තිබුණෙ නෑ.. ඒත් ඒවා අඩුවක් විදියට මම දැක්කෙ නෑ.. අපි හිටියෙ සතුටින්.. අපි එකතු වෙලා ගස් හිටෙව්වා.. කැලෑවල ඇවිද්දා.. සෆාරි චාරිකා ගියා.. අපි ඉස්සර වෙලාම මිළ දී ගත්ත මරුති 800 කාරෙකෙන් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ හැම අස්සක් මුල්ලක් නෑරම ගියා.. විශේෂයෙන්ම වැහි කාලවලදී ගිය ඒ ගමන්වලින් අපි දෙන්නම එක විදියට සතුටු වුණා.. මම කවදාවත් ඔහුට කියලා නෑ බෙංගාලි සින්දු අහන්න කැමතියි කියලා.. ඒත් ඔහු ඒක දැනගෙන හිටියා.. හුඟක් වෙලාවට ඒ සින්දු මට ඇහෙන්න කිව්වා.. මම විවේක ගන්නෙ නැතුව එක දිගටම ලියනකොට මගේ ලියන මේසෙ උඩ ලස්සන මල් පොකුරක් තිබ්බා.. ඒ තමයි සෑහෙන කාලයක් තිස්සේ පැවතුණ සම්බන්ධයකින් පසුව මටම හිමි වුණ මගේ සැමියා.. ඔහු හැම වෙලාවෙම උත්සාහ කළේ දැනුම වැඩි කර ගන්න.. ඔහු ඒ දැනුම මාත් එක්ක බෙදාහදා ගත්තා.. ඔහු නිහඬ මිනිසෙක්.. ඒත් රෑට නොනවත්වාම මාත් එක්ක දර්ශනය, කවි, සංගීතය, භෞතික විද්‍යාව මේ හැමදේම ගැන කතා කළා.. සමහර වෙලාවට මට නින්ද යනවා.. ඇත්තටම අද නින්ද නැති රෑ කාලවලදී මට තනිකම දරා ගන්න බෑ.. ඒ කතා කරපු දේවල් කන් ඇතුළෙ දෝංකාර දෙනවා වගේ මට දැනෙනවා.. මම කවදාවත් දෙවියන්ගේන් ප්‍රශ්න කරන්නෙ නෑ ඇයි මට මේ වේදනාව උරුම කළේ කියලා.. ජීවිතය දිහා වෙනස්ම ඇහැකින් බලන්න වේදනාව අපිට කියලා දෙනවා..” සුතාපා කියන්නීය.
අනාගතයේදී ඇතැම් විට ඇය මේ වේදනාව අකුරු කර කෘතියක් බවට පත් කරන්නට ඉඩ තිබේ.
චන්දි කොඩිකාර