උර්මිලා නැවතත් රංගනයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019 දී  දේශපාලනයට එක් වීමෙන් උර්මිලා මතෝන්ද්කාර් සියලු දෙනාම පුදුමයට පත් කළාය. සිය ගමන් මාර්ගය වෙනස් කළත් ඇයට රංගනයට ඇති ආශාව යටපත් කර ගන්නට හැකි වී නැත. ආපසු සිනමාවට එක් වෙන්නට ඇය සැලසුම් කරමින් සිටින්නේ එම නිසාය. 
ඇත්තටම කොරෝනා වසංගතය නොපැමිණියේ නම් ඇය මේ වන විටත් වෙබ් චිත්‍රපටියක දකින්නට ලැබෙනවා නියතය. 
“පහු ගිය අප්‍රේල් මාසෙදි මම වෙබ් චිත්‍රපටියක චරිතයක් රඟ පාන්න ගිවිසුම් අත්සන් කළා.. ඒ තිර රචනාවට මම හුඟක් කැමතියි.. මම නිෂ්පාදකයන්ට දින පවා දුන්නා..  ඒත් රට ලොක් ඩවුන් කරපු නිසා එහි රූගත කිරීම් කල් දාන්න සිද්ද වුණා.. මේ වෙනකොටත් ෂූටින්වලට අවසර ගන්න බැරි වුණ හින්දා තවමත් ඒක හිර වෙලා තියෙන්නෙ.. අපරාදෙ.. මම ඒකෙ රඟ පාන්න හරි ආසාවෙන් හිටියෙ.” ඇය සුසුම් හෙළමින් පැවසුවාය. 
47 හැවිරිදි උර්මිලා චිත්‍රපටි ක්ෂේත්‍රයට එක් වූයේ අවුරුදු තුනේදී කර්ම් චිත්‍රපටියේ රඟ පාමිනි. ළමා නිළියක ලෙස ඇය චිත්‍රපටි ගණනාවකම රඟ පෑවාය. ඇය ප්‍රථම වරට වැඩිහිටි චරිතයක් රඟ පෑවේ චානක්‍යන් නම් මලයාලම් චිත්‍රපටියේ 1989 දීය. ඇය රඟ පෑ ප්‍රථම හින්දි චිත්‍රපටිය නරසිම්හා ය. මේ චිත්‍රපටි දෙකම වාණිජ වශයෙන් සාර්ථක වූයේය. ඇය තෙළිගු, දෙමළ හා මරාති චිත්‍රපටිවල ද රඟ පා තිබේ. 
ඇය බොහෝ සෙයින් ජනප්‍රිය වූයේ ආමීර් ඛාන් සහ ජැකී ෂ්රොෆ් සමඟ රඟ පෑ රංගීලා චිත්‍රපටියෙනි.  ජුදායි, කම්බැක්ට් ඉෂ්ක්, ලැජ්ජා වැනි චිත්‍රපටිවල ඇගේ නර්තනාංග ගැන අදටත් රසිකයෝ ප්‍රසාදයෙන් කතා කරති. සත්‍යා, කවුන්, දීවානේ, දිල්ලගි, ඒක් හසීනා ථි, ඕම් ශාන්ති ඕම් ඇතුළු චිත්‍රපටි රැසක රඟ පෑ ඇය සම්මාන ද හිමි කරගෙන තිබේ. 
2019 දී ඇය ඉන්දියන් කොන්ග්‍රස් පක්ෂයෙන් ලෝක් සභා මැතිවරණයට තරඟ කළාය. එහෙත් ඉන් ජය ගන්නට ඇයට හැකි වුයේ නැත. ඉනික්බිති එම පක්ෂයෙන් ඉල්ලා අස් වූ ඇය ශිව් සේනා පක්ෂයට එක් වූවාය. 
ඇය විවාහ වී සිටින්නේ කාශ්මීරය නිජබිම කර ගත් ව්‍යාපාරිකයෙකු සමඟය. ඔහු නිරූපණ වෘත්තියේ ද නියැලෙන මොෂීන් අක්තාර් මිර්ය. 

20210320Urmila-2 20210320Urmila-1