අවුරුදු 15දී සල්මන්ට පෙම්කළ සෝමි අලි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

එක් යුගයක ජනප්‍රිය බොලිවුඞ් නිළියක වූ සෝමි අලි එවක ඇගේ පෙම්වතා වූ සල්මන් ඛාන් සමඟ චිත්‍රපටි ගණනාවක රඟ පෑවාය. ඊට අමතරව සන්ජේ දත්, සුනීල් ෂෙට්ටි, ගෝවින්දා සහ සායිෆ් අලි ඛාන් සමඟ චිත්‍රපටි කිහිපයක රඟ පා තිබේ.  මීට දශක දෙකකට පෙර සිනමාවෙන් සමු ගත් ඇය මේ වන විට පදිංචිව සිටින්නේ ඇමෙරිකාවේ මියාමිවලය. එහි සමාජසේවා කටයුතුවල නියැලෙන ඇය මේ මෑතකදී සතුට පිළිබඳව ඇගේ අදහස් ප්‍රකාශ කර තිබිණි. 

“සතුට කියන දේ මම විවිධාකාරයෙන් විඳිනවා.. හිතේ සාමය තමයි මගේ ලොකුම සතුට.. මගේ සහෝදරයත් එක්ක කාලය ගත කරන එකත් මට සතුටක්. ඔහුටයි මටයි ඕනම දෙයක් ගැන කතා කරන්න පුළුවන්.. ඒ වගේම අපි දෙන්නම ඇලුම් කරන පොදු දේවල් ගොඩක් තියෙනවා.. ඒ හින්දා පුළුවන් හැම වෙලාවෙම අපි දෙන්නා එකටමයි ඉන්නෙ..” ඇය කියාගෙන ගියාය. 

සිය සමාජ සේවා කටයුතුවලින් ද සෝමි අලි ලබන්නේ ලොකු සතුටකි. විවිධාකරයේ ගෘහස්ථ හිංසනයට ලක් වෙන කාන්තාවන් ගේ මුහුණට සිනාවක් ගේන්නට ඇය උත්සාහ දරන්නීය. එයින් තමාට ද ලැබෙන්නේ ලොකු සතුටක් බැව් සෝමි අලි කියන්නීය.

“මම කැමතිම කෑම බිරියානි.. ඒවා කෑමත් මට සතුටක්.. මම මගේ බැල්කනියේ විවිධ පැලෑටි වගා කරලා තියෙනවා.. ඒවයේ මල් පල දකින එකත් මට ලොකු සතුටක්.. වෙහෙසකාරී දවසක අවසානයේ රාජේෂ් ඛන්නා ගේ රංගනය සහිත ගීත නැරඹීමෙනුත් මම ලොකු සතුටක් ලබනවා.. ඇත්තටම මේ වගේ කාලෙක වැඩියෙන්ම කායික මෙන්ම මානසික සතුට තමයි ජීවිතයට වටින්නෙ..” ඇය කියන්නීය.

සෝමි අලි ඉරාන් මවකගේත්, පකිස්ථාන පියෙකුගේත් දියණිය ලෙස ඉපදුණේ පකිස්ථානයේය. අවුරුදු දොළහ වෙන තුරු කරච්චියේ වාසය කළ ඇය ඉනික්බිති අම්මාත් සහෝදරයාත් සමඟ ඇමෙරිකාවේ ෆ්ලොරිඩාවලට පදිංචියට ආවාය. කරච්චිවල පදිංචිව සිටියදී අවුරුදු පහේ සිට නවය දක්වා කාලය තුළ තමා ලිංගික අතවරවලට ලක් වූ බැව් ඇය සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවාය. ෆ්ලොරිඩාවල සිටියදී අවුරුදු 14 දී ඇය දූෂණයට ලක් වී තිබිණි. තවත් සම්මුඛ සාකච්ඡාවකදී ඇය කීවේ බොලිවුඩය යනු කාන්තාවන්ට ඉතාමත් නරක ස්ථානයක් බවය. එහි බොහෝ පිරිමින්ට ස්ත්‍රී දූෂණය සාමාන්‍ය දෙයකි.  තමන් සමඟත් ලිංගික සම්බන්ධතාවන් පවත්වන්නට ඔවුන් උත්සාහ කළ බැව් ඇය කීවාය.  කාන්තා දූෂණයට හා හිංසනයට එරෙහිව ඇය නැගී සිටින්නට පටන් ගත්තේ මේ අමිහිරි අත්දැකීම්වල මතකය නිසාය.  ඇය ඒ පිළිබඳ චිත්‍රපටි නිෂ්පාදනය කළාය. පුවත්පත්වලට ලිපි ලිව්වාය. රූපවාහිනී වැඩ සටහන් නිෂ්පාදනය කළාය. සමාජ සේවා කටයුතු වෙනුවෙන් ඇයට සම්මාන ද හිමි වී ඇත්තේය. 
කුඩා කල සිටම ඇගේ සිහින කුමරා වූයේ සල්මන් ඛාන්ය. අවුරුදු 15 දී මේනේ ප්‍යාර් කියා චිත්‍රපටිය නැරඹූ දා සිටම ඇය සල්මන් ඛාන්ට පෙම් බඳින්නට පටන් ගත්තාය. 
“අම්මා.. මට මුම්බායිවලට යන්න ඕන.. මට සල්මන්ව කසාද බඳින්න ඕන..” ඇය මව හමුවේ පෙරළි කළාය. 
“කට වහගෙන තමන්ගෙ කාමරේට යනවා..” මව සැර කළාය. 
එහෙත් කෙසේ හෝ සල්මන් හමු වීමට මුම්බායි යන්නට ඇයට වුවමනා වූයේය. ඇය සිය පියාට දුරකථන ඇමතුමක් දී මුම්බායි හි සිටින සිය නෑදෑයන් හමු වෙන්නටත්, ටජ්මහල නරඹන්නටත් එහි යන්නට වුවමනා බැව් ඔහුට ඒත්තු ගැන්වූවාය. අවසානයේදී පියාගේ බලපෑම නිසා අවුරුදු 16 දී ඉන්දියාවට යන්නට ඇයට හැකි වූයේය. එහිදී නිරූපණ වෘත්තියේ නියැලුණ ඇය අන්ත් චිත්‍රපටියේ රඟ පාමින් සිනමාවට පිවිසියාය.  ඇය 1991 සිට 1998 දක්වා  ක්‍රිෂාන් අවතාර්, යාර් ගද්දාර්, ආන්දෝලන්, මාෆියා ඇතුළු චිත්‍රපටි රැසක රඟ පෑවාය. මුල් පෙළේ නිළියන් අතරට නිරායාසයෙන්ම ඇතුළත් වෙන්නට ඇයට හැකි වූයේය. 
ඇයට පළමු වරට සල්මන් ඛාන් හමු වූයේ චිත්‍රපටියක රඟ පෑම සඳහා ගුවන් යානයකින් නේපාලයට යද්දීය. සිය ප්‍රියතම පුද්ගලයා දකින්නට ලැබීමේ සතුට ඇයට දරා ගත  නොහැකි වූයේය. තමන්ගේ පසුම්බිය තුළ තිබූ ඔහුගේ ඡායාරූපය ඇය ඔහුට පෙන්වූවාය. 

“ඒක හරි මෝඩ වැඩක්..” කියමින් ඔහු සිනාසුණේය. 

එහෙත් එය තේරුම් ගැනීමට  තරම් ඇය වයසින් හෝ මනසින් මෝරා සිටියේ නැත. ඇය ඔහු සම්බන්ධ සිහිනවල අතරමං වී සිටියාය.
“ඒ කාලෙ සල්මන් ගෙ පෙම්වතිය සංගීතා බිජ්ලානි.. මම ඔහු හමු වෙන්න ඔහුගෙ ගෙදරට යනකොට සංගීතා ඔහුගෙ අත අල්ලාගෙන එහෙ ඉන්නවා දකිනකොට ඉරිසියාවෙන් මාව පැලෙන්න යනවා.. ඇත්තටම මට දැනුණෙ සල්මන් කියන්නෙ සෙල්ලම් බඩු කඬේක තියෙන සෙල්ලම් බඩුවක් විදියට.. කොහොම හරි ඔහුව ලබා ගන්න මට ඕන වුණා.. ඇත්තටම ඒ කාලෙ ගැටවර වියේ හිටිය මට ඒකෙ වරදක් තේරුම් ගන්න පුළුවන් වුණේ නෑ.. කොහොම වුණත් සංගීතා සල්මන්ගෙන් වෙන් වුණේ මං හින්දා.. ඊට පස්සෙ අපි දෙන්නගෙ සම්බන්ධය පටන් ගත්තා.. ඒත් සල්මන් මාව දැක්කෙ පොඩි ළමයෙක් විදියට.. ඔහු ඕනෑවටත් වඩා මාව පරිස්සම් කරන්න උත්සාහ කරනකොට මම ඒකට කැමති වුණේ නෑ.. ඒ වගේම මට හැම වෙලාවෙම ඕන වුණේ ඔහු මගෙ ළඟින්ම තියා ගන්න.. අපේ සම්බන්ධය නතර වෙන්න මේ වගේ හේතු බලපාන්න ඇති..” 

එසේ කීවත් අවුරුදු අටක් පැවති ඔවුන්ගේ සම්බන්ධය බිඳ වැටුණේ සල්මන් තමාට ද්‍රෝහී වූ නිසා බැව් ඇය පිළි ගත්තාය. ඔහු ඓශ්වර්යා රායි වෙනුවෙන් සෝමි අත් හැර දැමීය. කුඩා කාලයේ සිටම ඔහු සමඟ විවාහ වෙන්නට දුටු සිහිනය බිඳ වැටුණාට පසු නැවතත් ඇමෙරිකාවට පැමිණි ඇය සිය අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කර ගත්තාය. 

“මම මගෙ අධ්‍යාපනය කඩාකප්පල් කර ගත්තෙ නවය වසරෙදී.. හිත බිඳගෙන ඇමෙරිකාවට ආව මම  ආයෙමත් ඉස්කෝලෙ යන්න පටන් ගත්තා.. මට වැඩිය හුඟාක් බාල ළමයි එක්ක එක පන්තියේ ඉගෙන ගත්තා.. උපාධි ලබා ගත්තා.. ” ඇය කීවාය. 
 අයසට පත් වෙන කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් නෝ මෝ ටියර්ස් සංවිධානය පිහිටුවා ගත්තේත් ඉන් පසුවය. මේ වන විට තිස් දහසකට අධික පිරිසකට පිහිට වෙන්නට ලැබීම තරම් සතුටක් තවත් නැතැයි ඇය කියන්නීය. 

චන්දි කොඩිකාර

20210518Ali (1) 20210518Ali (2) 20210518Ali (3)

 



More In Hot Story