අමිතාබ් බච්චන් ගේ හිත රිදිලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කොවිඞ් රෝගීන්ට පිහිට වීම සඳහා සහන අරමුදල් පිහිටුවීම මේ දිනවල නළුනිළියන් අතර දකින්නට ලැබේ. එහෙත් ප්‍රසිද්ධ නළුනිළියන් මේවාට කිසිදු සහයෝගයක් නොදෙන බැව් කියමින් එල්ල වෙන විවේචන සමාජ මාධ්‍යවල බහුලය. මේ විවේචන තමාට ද එල්ල වීම පිළිබඳව අමිතාබ් බච්චන් ගේ සිත බොහෝ සෙයින් රිදී තිබේ. ඔහු මෙන්ම ඔහුගේ පවුලේ අයත් කොවිඞ් රෝගය වැළඳී ප්‍රතිකාර ගත්තෝ වෙති. 
“මම විශ්වාස කරන්නෙ පින් අතේ වැඩ කිරීම මිසක් ඒවා ගැන කතා කිරීම නෙමෙයි..”
සිය බ්ලොග් අඩවියේ සටහනක් තබමින් අමිතාබ් බච්චන් කියා තිබුණේ මේ විවේචකයන්ට පිළිතුරක් වශයෙනි. 
“මම පින්කම් කරනවා.. ඒත් ඒවා ගැන කතා කරන එක ලැජ්ජාවක් කියලයි මම හිතන්නෙ.. ඇත්තටම වෘත්තියේදී ඇරුණු කොට අනිත් තැන්වලදී ප්‍රසිද්ධියේ පෙනී ඉන්න අකැමැති අය අතරේ මාත් ඉන්නවා.. මං විතරක් නෙමෙයි අපේ පවුලේ අයත් අවුරුදු ගණනක් තිස්සේ විවිධ පුද්ගලයන්ට ආධාර උපකාර කනවා.. ඒත් අපි කවදාවත් ඒවා සමාජ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියට පත් කරන්නෙ නෑ.. ඒවා ගැන දන්නෙ අදාළ පුද්ගලයා විතරයි..” ඔහු කියා තිබිණි. 
පසු ගිය කාලයේ ඔහු සිය පෞද්ගලික ධනයෙන් ගොවීන් ගේ ණය ගෙවා තිබිණි. අභිෂේක් පුතු මෙන්ම ස්වේතා දියණිය ද අසරණ පවුල්වලට පිහිට වී තිබේ.
“ගිය අවුරුද්දේ කොවිඞ් වසංගතය නිසා අසරණ වුණ දෛනික වැටුප් ලබන කම්කරුවන් හාර ලක්ෂයකට මාසයක් තිස්සේ ආහාර ලබා දුන්නා.. නගරයේ පන් දහසකට විතර හැමදාම දිවා, රාත්‍රි ආහාර, මුහුණු ආවරණ, සෞඛ්‍ය සේවකයන්ට, පොලිස් නිලධාරීන්ට  ආරක්ෂිත ඇඳුම් කට්ටල ලබා දුන්නා.. ඒ ඔක්කොම කළේ අපේ පෞද්ගලික මුදල්වලින්.. සංක්‍රමණික කම්කරුවන් තමන්ගේ ගම්වලට යන්න ප්‍රවාහන පහසුකම් නැතුව  ලත වෙද්දී මම බස් තිහක් කුලියට අරගෙන උත්තර් ප්‍රදේශ්වලට, බිහාර්වලට ඔවුන් යැව්වා.. සපත්තු සෙරෙප්පු පවා නැති අය ඔවුන් අතර හිටියා.. ඔවුන්ට ඒවා විතරක් නෙමෙයි රෑ පුරා ගමනේදි ඕන වෙන කෑමබීම සැපයුවෙත් අපි... මුම්බායි ඉඳලා උත්තර් ප්‍රදේශ් දක්වා සම්පූර්ණ දුම්රියක් වෙන් කරලා කම්කරුවෝ 2800 ක් ඔවුන්ගෙ ගෙවල්වලට යැව්වා.. ප්‍රාන්ත අතර දුම්රිය ගමනාගමනය අත් හිටෙව්ව පස්සෙ මම ගුවන් යානා තුනක් කුලියට අරන් මඟීන් 180කට වැඩි පිරිසක් උත්තර් ප්‍රදේශ්, බිහාර් සහ රාජස්තාන්වලට යැව්වා..”
තමා විසින් කරන ලද තවත් පුණ්‍ය කටයුතු රැසක්ම ඔහු ලැයිස්තුගත කර තිබුණේ තමා විවේචනය කළ අයට අතුල් පහරක් ගසන්නාක් මෙනි. ඔහු කොවිඞ් ආසාදිත දිළිඳු අය වෙනුවෙන් සම්පූර්ණ වෛද්‍ය ආයතනයක් පිහිටුවා තිබුණේ එම්. ආර්. අයි , ස්කෑන්, සෝනෝග්‍රැෆික් යන්ත්‍ර පහසුකම් ද සහිතවය. තමා එය පිහිටෙව්වේ සිය මව් පාර්ශ්වයේ සීයා සහ ආච්චි වෙනුවෙන් බැව් ඔහු සඳහන් කර තිබිණි. ඔහු විවිධ රෝහල් සඳහා වෙන්ටිලේටර් යන්ත්‍ර 20ක් ද ඇණවුම් කර තිබේ. 
“කොවිඞ්වලින් මව්පියන් අහිමි වුණ හයිද්‍රාබාද්හි දරුවන් දෙන්නෙක් අනාථ නිවාසයකට බාර දීලා ඔවුන් වෙනුවෙන් සියලු වියහියදම් දරන්න මම එකඟ වෙලා තියෙන්නෙ..”
අමිතාබ් තව දුරටත් සඳහන් කර තිබිණි. 
මේ අතර දිල්ලි සික් ගුරුද්වාර කමිටුවේ සභාපති සිය ට්විටර් ගිණුමේ අම්තාබ් බච්චන්ට ස්තුතිපූර්වක සටහනක් යොදා තිබුණේය.  ඒ ඔවුන්ගේ කොවිඞ් අරමුදලට අමිතාබ් විසින් ඉන්දියානු රුපියල් කෝටි දෙකක් සහ එතෙරින් ගෙන්වන ලද ඔක්සිජන් සිලින්ඩර් තොගයක් ලබා දීම පිළිබඳවය. පින්කම් කරනවා මිස ඒ පිළිබඳව කතා නොකරන අය අතර අමිතාබ් ඉදිරියෙන්ම සිටින්නේ නොවේදැයි ඒ සටහන දුටු බොහෝ දෙනෙකු ප්‍රශ්න කර තිබිණි. 

චන්දි කොඩිකාර

20210526Bachchan-1