අනුෂ්කාගේ දුව මාධ්‍යයට තහනම්ද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දියණියකගේ ආඩම්බරකාර දෙමව්පියන් බවට පත් වී සිටින විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මා ඔවුන්ගේත්, අලුත උපන් දියණියගේත්  පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව ගැන බෙහෙවින් සැළකිලිමත් වෙති. දියණිය උපන්නේ මුම්බායි හි බී්‍රච් කැන්ඩි රෝහලේදීය. ඒ දිනවල රෝහලට විශේෂ ආරක්ෂාවක් යොදා තිබිණි. ඔවුන් තෑගිබෝග පිළි නොගත් අතර සමීප ඥාතීන්ටවත් රෝහලට එන්නට අවසරයක් නොවිණි. අවට කාමරවල සිටි අයටවත් ඔවුන් දැක ගන්නට ඉඩක් ලැබුණේ නැත. 
ඉන්දියාවත් ඕස්​ට්‍රේලියාවත් අතර තීරණාත්මක තුන් වෙනි ටෙස්ට් තරඟය පැවැත්වෙන අතරතුර කෝලි සිය දියණියගේ උපත පිළිබඳ පුවත අන්තර්ජාලයට එක් කළේය.  ලෝකයේ සතර දෙසින්ම සුබ පැතුම් ගලා එන්නට පටන් ගත් අතර සිය පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස කෝලි ඔවුන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේය. 
“අපේ දියණියගේ උපත පිළිබඳ සතුට ඔබ සමඟ බෙදාහදා ගන්නෙ ඉමහත් සතුටින්.. ඔබේ ආදරය, යාඥා සහ සුබ පැතුම් වෙනුවෙන් අපි ඔබට ස්තුති කරනවා.. ඒත් මේ වෙලාවේ අපේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිනවා..” ඔහු සඳහන් කර තිබිණි. 
ඉන්දියානු ක්‍රිකට් පාලන මණ්ඩලය විසින් කෝලිට පිතෘ නිවාඩුවක් අනුමත කරනු ලැබිණි. ඔහු ඒ නිවාඩුව උපරිමයෙන් භුක්ති ිවිඳිමින් සිටින්නේය. ආඩම්බරකාර සැමියෙක් සහ පියෙක් යනුවෙන් ඔහු සිය ට්විටර් ගිණුමේ හැඳින්වීම යොදා තිබුණේ දියණිය උපන්නාට පසුවය. 
දියණිය ඉපදෙන්නට පෙරාතුව සිය ගර්භනීභාවය ආඩම්බරයෙන් ප්‍රදර්ශනය කරමින් අනුෂ්කා සුප්‍රකට වෝග් සඟරාවේ කවරයකට පෙනී සිටියාය. එහි ඇය සඳහන් කර තිබුණේ සිය දරුවා සාමාන්‍ය ආකාරයෙන් හදා වඩන්නට තීරණය කර ඇති බවය. 
“දෙමව්පියෝ ප්‍රසිද්ධ අය වෙන්න පුළුවන්.. ඒත් කිසිම දරුවෙක් තවත් දරුවෙකුට වැඩිය විශේෂිත වෙන්නෙ නෑ.. එහෙම විශේෂිත වීම වැඩිහිටියන්ටත් දරා ගන්න අමාරුයි.. ඉතින් දරුවෙක් දරා ගන්නෙ කොහොමද..? දරුවට දැනුම්තේරුම් ඇති වයසට ආවම තීරණය කරයි සමාජ අඩවිවල පෙනී ඉන්නව ද නැද්ද කියලා.. එතකම් දරුවා ප්‍රසිද්ධියට පත් කරන්නෙ නෑ කියලා අපි හිතනවා..” 
ඇගේ එම අදහස් බොහෝ දෙනෙකු අගය කර තිබිණි. 
එහෙත් දරුවා ගේ පින්තූර ප්‍රසිද්ධියට පත් නොකරන්නට ඔවුන් ගත් තීරණය සමහරුන්ගේ නොසතුටට හේතු වූයේය. 
“පැපරාසින් ඈත් කරලා තියන්න ගත්ත තීරණේ නම් හොඳ එකක් නෙමෙයි.. අනුෂ්කා ෆොටෝෂූට්වලට ගිහින් සල්ලි හම්බ කරනවා.. ඒත් එයාලගෙ දරුවගෙ පින්තූරයක් අරගෙන මාධ්‍යයට නිකුත් කරලා පැපරාසියෙක් සල්ලි ටිකක් හම්බ කර ගන්නවට වැට බඳිනවා.. හරි අසාධාරණයි..” 
“ඔයාල ජනප්‍රිය වෙලා ඉන්නෙ මාධ්‍ය හින්දා කියලා අමතක කරන්න එපා..”
“ආරාධ්‍යා බච්චන් ඉපදුණාට පස්සෙත් අයිෂ්වර්යා අවුරුද්දක් තිස්සෙම එයාව හංගාගෙන හිටියා.. ඒත් දැන්..?”
“කරීනා කපූර් විතරයි දරුවා ඉපදුණ ගමන්ම පොටෝ ගන්න ඉඩ දුන්නෙ..”
සමාජ වෙබ් අඩවිවල එවන් විවේචන ද පළ වී තිබිණි. 
කෙසේ වුව ද දියණිය ගේ පළමු වීඩියෝව සමාජ මාධ්‍යවලට නිකුත් කරන්නට විරුෂ්කා පසුබට වූයේ නැත. එය ඉතා වේගයෙන් අන්තර්ජාලයේ සංසරණය වූයේය. අනුෂ්කා දරුවා තුරුළු කරගෙන සිටින, විරාත් බොහෝ හුරුපුරුදු ලෙස දරුවා වඩා සිටින, සිඟිති දරුවා හඬන, කිරි උරන්නාක් මෙන් තොල් සොලවන, දෑස් හැර බලා සිටින දර්ශන ඒ අතර තිබිණි. 
ඉන්දියාව ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ නළුනිළියන්ට බෙහෙවින් ආදරය කරන ජනතාව සිටින රටකි. රසිකයන් වැඩි දෙනෙක් ඔවුන්ට දේවත්වයෙන් සළකන අතර ඔවුන්ට පෞද්ගලිකත්වයක් ඇතැයි විශ්වාස කරන්නේ නැත. තමන්ගේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රිඩකයා, නිළිය හැම ජීවන තොරතුරක්ම තමන් සමඟ බෙදාහදා ගත යුතුයයි ඔවුහු අදහති. ජනප්‍රිය පුද්ගලයන්ට ආශීර්වාදයක් මෙන්ම කරදරයක් ද වන්නේ මේ රසික ආදරයමය. ජනප්‍රිය පුද්ගලයන් නිවාඩු ගත කරන්නට විදසේ රටවලට යන්නේ ද එම නිසා විය යුතුය. 
ඔවුන්ගේ දියණිය ගේ උපත දැන ගත් මොහොතේ සිටම රසිකයන් කාර්යබහුල වූයේ ඇයට නම් යෝජනා කරමිනි. අන්වි නම ද ඒ අතර තිබිණි. අනුෂ්කාගේත් විරාත් ගේත් නමේ මුල් අකුරු එක් කර සාදන ලද මේ නම විරුෂ්කා විසින් ද කාලයක් තිස්සේ තෝරාගෙන තිබෙන්නට ඇත. එහි තේරුම ද බලගතුය. අන්වි යනු හින්දු දේවතාවියක වන මහා ලක්ෂ්මීට කියන තවත් නමකි. ධනයට හා සශ්‍රීකත්වයට අධිපති දෙවඟන මහා ලක්ෂ්මීය. ඔවුන් දියණියට ඒ නම තබා ඇති බැව් වාර්තා වී තිබේ. 

චන්දි කොඩිකාර

20210209Anushka (1) 20210209Anushka (2) 20210209Anushka (3)