Henry Cavill රඟපාන අලුත්ම වැඩක් ගැන විස්තර නිකුත්වෙයි
Henry Cavill කියන්නෙ හොලිවුඩ් සිනමාව රසවිඳින අය වගේම TV Series බලන අය අතරත් ජනප්‍රිය චරිතයක්. The Rosie Project නැමැති ROM-COM චිත්‍රපටයට එකතු වෙන ශිල්පීන් ලැයිස්තුවේ ඔහුත් ඉන්න බවට තහවුරු වෙලා තියෙනවා. Graeme Simsionගේ නව කතාවක් ඇසුරෙන් නිපදවෙන මේ චිත්‍රපටිය ගැන මුලින්ම තොරතුරු එළියට ආවේ මීට වසර 04කට පමණ කලිනුයි. හැබැයි කාලයක් තිස්සෙම මෙහි රූපගත කිරීම් අරඹන බවක් තිබුණේ නැහැ. මුලදී ප්‍රධාන චරිතයකට Jennifer Lawrence ගේ නමත් යෝජනා වෙලා තිබුණත් දෙපාර්ශවයේ ගැටළු කිහිපයක් නිසා ඇයත් ඉවත් වෙලා තියෙනවා. කොහොම නමුත්, දැන් නැවතත් සිනමාපටයේ වැඩ කටයුතු මුල ඉඳන් අරඹන්න නිෂ්පාදකයින් සූදානම් වන බව වාර්තා වනවා.
පසුගිය වසර කිහිපය තුළම අපිට රොමෑන්ටික් චරිතයකින් Henryව දැකගන්න ලැබුණේ නැහැ. ඉතින් Night Hunter, MI: Fallout, Enola Holmes වැනි ක්‍රියාදාම සිනමාපට සහ ZSJL, Man of Steel, Justice League ආදී සුපර් හීරෝ සිනමාපටවලින් පොඩ්ඩක් ඈත් වෙලා කාලෙකට පස්සේ හරි පෙම්වතාගේ චර්තයෙන් Henryව බලාගන්න The Rosie Project හරහා අවස්ථාව ලැබේවි. මෙය විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙකු සහ ඔහුගේ ජීවිතයට එන ආගන්තුක තරුණියක අතර දිවෙන කතාවක් කියලයි අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ. Henry Cavillගේ චිත්‍රපට කිහිපයක නිෂ්පාදන කටයුතු මේ වනවිටත් සිදු වෙමින් පවතින නිසා The Rosie Project රූගත කිරීම් ආරම්භ කරන්න වෙන්නේ නම් 2022 වසරේ මුල් භාගයෙදී බවත් සඳහන් වනවා. තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කරන්නේ Steve Falk විසිනුයි. නිෂ්පාදනය වෙනුවෙන් Matt Tolmach සහ Michael Costigan එකතු වෙලා ඉන්නවා.
Henry Cavillගේ upcoming projects අතරින් අපිට මුලින්ම දැකගන්න ලැබෙන්නේ The Witcher කතාමාවේ දෙවෙනි කතාසමය. අති සාර්ථක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනා ගනිපු The Witcher කතාමාලාව ලාංකික රසිකයින් අතරෙත් විශාල වශයෙන් ජනප්‍රිය වුණා. මේ වෙනකොට ඔහුව Highlander චරිතයටත් තෝරාගෙන ඉවරයි. ඒ වගේම Sherlock Holmesගේ චරිතයෙන් Enola Holmes චිත්‍රපටයේ සීක්වල් නිර්මාණයටත් ඔහු සම්බන්ධ වෙලා ඉන්නවා. The Rosie Project සිනමාපටයේ නවතම තොරතුරු නිකුත් වුණු ගමන්ම, ඒ ගැන ඔබව යාවත්කාලීන කරන්න අපි සූදානම්.
NISANKA WEHERADUWA