800 සහ මුරලි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශ්‍රී ලාංකික පුරාවෘත්තයක් වන සුපිරි දඟපන්දු ක්‍රීඩක දේශබන්දු මුත්තයියා මුරලිදරන් ගේ ජීවිත කතාව පාදක කරගෙන, ප්‍රසිද්ධ චිත්‍රපටි නිෂ්පාදන ආයතනයක් වන  ඩාර් මෝෂන් පික්චර්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන්නට සූදානම් වෙන දෙමළ චිත්‍රපටිය පිළිබඳව දැන ගන්නට ලැබුණ මොහොතේ සිටම දෙමළ සමාජය තුළින් එයට විරෝධය එල්ල වූයේය. මෙම චිත්‍රපටිය නම් කර ඇත්තේ 800 යනුවෙනි. ප්‍රවීන දෙමළ නළුවෙකු වන විජේ සේතුපති මෙහි මුත්තයියාගේ චරිතය නිරූපණය කරන්නට තෝරා ගනු ලැබ සිටියේය. 
මේ චිත්‍රපටිය නිර්මාණය වන්නේ මුරලි ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස  දුෂ්කර මාවතක් ඔස්සේ මෙතරම් දුර පැමිණි ආකාරය පිළිබඳව මිස කිසිදු දේශපාලන අභිලාෂයකින් නොවන බැව් නිෂ්පාදකයන් පමණක් නොව මුරලි ද සඳහන් කර තිබිණි. 
තිස් අවුරුදු යුද්ධය නිමා වෙද්දී තමා සතුටු වූයේ යුද්ධයෙන් බොහෝ බැට කෑ පුද්ගලයෙකු ලෙසින් මිස අහිංසක දෙමළ ජනතාව මැරෙනවා දකින්නට තමා තුළ කැමැත්තක් තිබූ නිසා නොවන බැව් මුරලි ලිඛිතවම ප්‍රකාශ කර තිබිණි. ඔහු පැවත එන්නේ ලංකාවේ තේ වතුවල සේවයට ආ ඉන්දීය කුලීකරු පරපුරකිනි. ඔහුගේ පිය පාර්ශ්වයේ සීයා ඇතුළු පිරිසක් නැවත ඉන්දියාවට ගියත් මුරලිගේ පියා තවත් කිහිප දෙනෙක් සමඟ ලංකාවේම පදිංචි වූයේය. ඔහු දෙමළ බස දන්නේ නැතැයි අන්තවාදීන් කළ චෝදනාවට පිළිතුරු වශයෙන් මුරලි සිය ප්‍රකාශය ඇතුළත් ලියුම දෙමළෙන්ම ලියා ඇත. දෙමළ බසින් උගත් තමා දෙමළ නොදන්නා බැව් කියන්නේ කෙසේදැයි ඔහු ඉන් ප්‍රශ්න කර තිබිණි. 
කෙසේ වුවත් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නට නියමිතව සිටි විජේ සේතුපතිට ඉන් ඉවත් වන ලෙස මුරලි ඉල්ලා ඇති බව ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. 
“මම හින්දා දක්ෂ නළුවෙක් කරදරයට පත් වෙනවා දකින්න මට වුවමනා නෑ.. ඔහුගේ සිනමා අනාගතයට අනවශ්‍ය බලපෑමක් ඇති වෙයි කියලා හිතුණ හින්දයි මම ඔහුට මේ චිත්‍රපටියෙන් අයින් වෙන්න කියලා ඉල්ලා හිටියෙ..” 
මුරලි සිය ට්විටර් අඩවියේ සඳහන් කර ඇත. විජේ සේතුපති එයට ස්තුති කර තිබිණි. 

 

චන්දි කොඩිකාර

20201029Film-1 20201029Film-2