2022 මඟුල් කන්නට සූදානම් වෙන නළුනිළියෝ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉතාම දුෂ්කර වූත්, අවිනිශ්චිත වූත් වසරක් අතීතයට එක් වී අලුත් වසරක් උදා වී තිබේ. ලෝවැසි සියලු දෙනා තුළම ඇත්තේ එළඹුණ අවුරුද්ද සුබදායක වෙනු ඇතැයි බලාපොරොත්තුවය. බොලිවුඩ් වාසීහු ද සිය වෘත්තීය ජීවිතයේ මෙන්ම පුද්ගලික ජීවිතයේත් යම් යම් වෙනස්කම් කර ගන්නට සැලසුම් සකස් කරමින් සිටිති. දැනට පෙම්වතුන් වී සිටින  කිහිප දෙනෙක්ම මේ වසරේ යුග දිවියට ඇතුළත් වෙනු ඇතැයි මත ක්ෂේත්‍රය පුරාම පැතිර පවතියි. 

කත්‍රිනා කායිෆ් සහ විකී කෞශාල් විවාහ වී අවසානය. ඔවුන් විවාහය තෙක්ම සිය සම්බන්ධය පිළිබඳව විවෘතව කතා කළේ නැත. එය රසිකයන්ට දැනෙන්නට ඉඩ ඇරියා පමණකි. දෙසැම්බර් 9 දා විවාහ වූ ඔවුහු දැන් මුම්බායිහි නව නිවහනක පදිංචිව සිටිති. නත්තල් දිනයේ ඔවුන් දෙදෙනා එම නිවසේ නත්තල් ගස ඉදිරිපිටදී එකිනෙකා තදින් වැළඳගෙන ගන්නා ලද ඡායාරූපය අන්තර්ජාලයට එක් කර තිබුණේ ‘මගේ නත්තල ’ අදහස එන වැකියක් සමඟිනි. 

2022 වසරේ මුලින්ම යුග දිවිය අරඹන පෙම් කුරුල්ලන් ලෙස රසිකයන් අනාවැකි පළ කරන්නේ රන්බීර් කපූර් සහ ආලියා භාත් පිළිබඳවය. ඔවුන් දෙදෙනා සිය සම්බන්ධය කෙදිනක ඇරඹුවත් එය ප්‍රසිද්ධියේ පිළි ගත්තේ 2018 දීය. එදා සිටම දිනෙන්දින ඒ සම්බන්ධය වර්ධනය වූවා මිසක කිසිදු හානියක් සිදු වූයේ නැත.

මාධ්‍යවලට වාර්තා වී ඇත්තේ ඔවුන් ජනවාරි මාසයේ විවාහ වෙන්නට සියලු කටයුතු සූදානම් කර ඇති බවය. දෙසැම්බර් මාසයේ රන්බීර්ටත්, ජනවාරි මුල් සතිය වන තුරු ආලියාටත් සිය වෘත්තීය කටයුතු සම්පූර්ණ කළ යුතුව ඇති බැවින් ඒවා අවසන් වූවාට පසුව විවාහ මංගලෝත්සවය පවත්වන බව ද, කොවිඩ් අනතුර තවම පහව නැති නිසා සමීපතම ඥාතීන්, මිතුරන් හැරෙන්නට වෙනත් ආරාධිතයන් නැති බව ද එම වාර්තාවලින් තවදුරටත් කියැවිණි. දෙසැම්බර් අග සතියේ රන්බීර් සිය මංගලෝත්සවයේ පෙර සූදානම සඳහා වෘත්තීය කටයුතුවලින් සමු ගත් බව ද ඒවායේ සඳහන් වී තිබිණි. 

පසුගිය වසරේ කටකතාවලින් කියැවුණේ ආලියා සහ රන්ධීර් රන්තම්බෝරේ ජාතික උද්‍යානයේදී විවාහ ගිවිස ගත් බවය. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා නිතරම එකටම ගැවසුණ යුවළකි. ඔවුන් නිවාඩු ගත කරන්නට එකට යනවා පමණක් නොව එකිනෙකාගේ නිවෙස්වලට යන පුවත් ද සඟවන්නට වෑයම් කළේ නැත. 

අර්ජුන් කපූර් සහ මලයිකා අරෝරාගේ සම්බන්ධය ප්‍රසිද්ධියට පත් වූයේ 2019 දීය. මොන තරම් කටකතා පැතිර තිබුණත් ඔවුහු එතෙක්ම සිය සම්බන්ධය පිළිබඳව නිහඬවත පිරූහ. එයට බොහෝ විට හේතු වෙන්නට ඇත්තේ ඔවුන්ගේ වයස් පරතරය විය යුතුය. මලයිකා අර්ජුන්ට වඩා වසර 11 ක් වැඩිමහලුය. අර්බාස් ඛාන් සහ ඇගේ විවාහය දික්කසාදයකින් කෙළවර වූ අතර ඇයට ගැටවර වියේ පුතෙකු ද සිටින්නේය. 

“ඇත්තටම දික්කසාදයෙන් පස්සෙ මගෙ හිත හොඳටම බිඳ වැටිලා තිබ්බෙ.. ආයෙ කවදාවත් පිරිමියෙක් එක්ක සම්බන්ධයක් ඇති කර ගන්නෙ නෑ කියලා මම මටම පොරොන්දු වුණේ ඒ හින්දයි.. ඒත් ඕනම ගෑනියෙක් ආදරේ ලබන්න, ආදරේ විඳින්න ආසයි... හුඟාක් ආදරණීය පිරිමියෙක් හමු වුණාම ඒ හැඟීම් ඉස්මතු වෙනවා වැඩියි.. අර්ජුන් ඒ වගේ ආදරණීය පිරිමියෙක්.. අපි දෙන්නගෙ සම්බන්ධෙදී ආදරය ඇරෙන්න වෙන කිසිම දෙයක් වැදගත් වුණේ නෑ.. මම ඔහුට වැඩිය බාලයි, මම දික්කසාද වුණ ලොකු දරුවෙක් ඉන්න කාන්තාවක් කියන එක ප්‍රශ්නයක් වුණේ අර්ජුන්ටවත් මටවත් නෙමෙයි ලෝකේ අනිත් අයට.. ඇත්තටම වෙලාවකට මට හිතෙනවා මේක මහ පුදුම සමාජයක් කියලා.. වැඩිහිටි පිරිමියෙක් තරුණ කාන්තාවක් එක්ක සම්බන්ධයක් ඇති කර ගත්තම ඒක සාමාන්‍ය දෙයක් විදියට දකින මිනිස්සු, වැඩිහිටි කාන්තාවක් තරුණ පිරිමියෙක් එක්ක සම්බන්ධ වුණාම ඒ දිහාවේ බලන්නෙ වපරැසින්..”
වරක් මාධ්‍ය හමුවකදී මලයිකා කියා තිබිණි. 

අර්ජුන් නම් තමා ඇයට ආදරය කරන බැව් ප්‍රසිද්ධියේ කියන්නට කිසිසේත්ම පසුබට වූයේ නැත. විවාහය ගැන ඇසූ විට මලයිකා කීවේ ඒ පිළිබඳව තවමත් තීරණයක් ගෙන නැති බවය. එහෙත් 2022 දී විවාහ වෙන්නට අදහස් කරගෙන සිටින බැව් අර්ජුන් නම් ප්‍රකාශ කර තිබිණි. ඔවුන්ගේ රසිකයන් පුලපුලා බලා සිටින්නේ ඒ සුන්දර දවස එළඹෙන තුරුය. 

කේ එල් රාහුල් සහ ආතියා ෂෙට්ටි අතර විවාහය ද බොහෝ දුරට 2022 දී සිදු වෙන්නට නියමිත බවට රාවයක් බොලිවුඩ් ක්ෂේත්‍රයේ පැතිර පවතින්නේය. ඉන්දියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වන රාහුල් සහ ආතියා අතර සෑහෙන කලෙක සිට පැවති සම්බන්ධය රහසක්ව තබා ගන්නට ඔවුහු වගබලා ගත්හ. එහෙත් දැන් එය ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ එංගලන්ත ක්‍රිකට් සංචාරයේදී  සිය සහායිකාව ලෙස රාහුල් ඇය නම් කර තිබූ නිසාය. ක්‍රිකට් සංචාරය අවසන් වන තුරුම ඇය ද එංගලන්තයේ රැඳී සිට තිබිණි. 

මේ මෑතකදී ආතියා ගේ සොයුරු අහාන් ෂෙට්ටි නළුවෙකු ලෙස දොරට වඩින තදාප් චිත්‍රපටියේ මංගල දර්ශනය පැවැත්විණි. එයට රාහුල් සහ ආතියා සහභාගි වූ අතර ඔවුන් එකිනෙකාට තුරුළුව සිටින ඡායාරූප ද අන්තර්ජාලයට මුදා හැර තිබිණි. 

රිචා චාධා සහ අලි පසාල් ගේ විවාහ මංගලෝත්සවය කල් දැමුණේ කොවිඩ් වසංගතය නිසා බැව් ඔවුහු සරදමට මෙන් කියති. කෙසේ වුවත් තමන් බාර ගෙන ඇති වැඩ සියල්ල අවසන් වූ පසුව පෙබරවාරි හෝ මාර්තු මාසයේ යුගදිවි අරඹන්නට ඔවුහු සූදානමින් සිටිති.

චන්දි කොඩිකාර