13 වන වසරට පා තැබූ හර්ෂාලි මල්හෝත්‍රා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බජ්රංගි භායිජාන් චිත්‍රපටියේ මුන්නි නම් ගොළු දැරියගේ චරිතය රඟ පාමින් සිනමා ක්ෂේත්‍රයට එක් වූ ළමා නිළිය හර්ෂාලි මල්හෝත්‍රා ජූනි 3 දා සිය 13 වන උපන් දිනය සැමරුවාය. සාම්ප්‍රදායික ඉන්දියානු ඇඳුම්වලින් සැරසී ගන්නා ලද ඇගේ ඡායාරූප රැසක් අන්තර්ජාලයට එක් කර තිබුණේ ඇගේ අම්මා විසිනි. මිලියන 1.5 ක් වන ඇගේ රසිකයන්  සියලු දෙනාම පාහේ ඇගේ උපන් දිනයට සුබ පැතුම් එක් කර තිබිණි. 

උපන් දින සැමරුමෙන් පසුව මාධ්‍ය සාකච්ඡාවකට එක් වූ ඇය පැවසුවේ තමා නිළියක වෙන්නට කැමැත්තෙන් සිටියත් ඉගෙනීමේ කටයුතුත් නොපිරිහෙළා ඉටු කරන බවය. ඇගේ අරමුණ වී ඇත්තේ රංගන පාසැලකට බැඳී රංගනය වැඩිදුර හැදෑරීමය. එහෙත් කොවිඞ් වසංගත තත්වය නිසා එය කල් දමන්නට සිදු වී තිබේ. 

බජ්රංගි භායිජාන් චිත්‍රපටියේ මුන්නිගේ චරිතය සඳහා ළමා නිළියන් 5000 ක් අයදුම් පත්‍ර යොමු කර තිබිණි. පරීක්ෂණවලින් පසුව අවස්ථාව හිමි වූයේ හර්ෂාලිටය. පකිස්තාන් මුස්ලිම් දැරියක වන මුන්නි ඉන්දියාවේ අතරමං වෙයි. ඇය පකිස්තානයට රැගෙන ගොස් ඇගේ දෙමව්පියන්ට බාර දෙන්නේ ඉන්දියානු ජාතිකයෙකු විසිනි. එම චරිතය රඟ පෑවේ සල්මන් ඛාන්ය. 

හර්ෂාලි සිය චරිතය මොන තරම් දක්ෂ ලෙස රඟ පෑවේ ද යත් ඇය ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නවක නිළියට හිමි සම්මානයට ද නිර්දේශ වූවාය. එතරම් ලාබාල දැරියක් එම සම්මානයට නිර්දේශ වූයේ පළමු වතාවටය. හොඳම ළමා නිළිය ඇතුළු සම්මාන කිහිපයක්ම දිනා ගන්නට ඇයට හැකි වූයේය.