වසර 5කට පසු ලිංගික හිංසන සිදුවීමක් ගැන ඉන්දීය නිළියක් හඬ අවදි කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බලෙන් පැහැරගැනීමකට සහ ලිංගික හිංසනයකට මුහුණ දුන් සිදුවීමක් ගැන දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වසර 5කට පසුව පෞද්ගලික යූ ටියුබ් නාලිකාවකට සජීවී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇගේ හඬ අවදි කර තිබෙනවා.

ඒ දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන භාවනා මෙනන් 2017 වසරේ දී එනම්  මීට වසර 5කට පෙර ඉන්දියාවේ ත්‍රිස්සුර් සිට කොච්චි දක්වා ගමන් කරමින් සිටිය දී පුද්ගලයින් කණ්ඩායමක් විසින් පැහැරගැනීමකට සහ ලිංගික අඩන්තේට්ටම් සිදු කර තිබෙනවා.

මලයාලම් සිනමාවේ ප්‍රකට තරුවක් මෙන්ම ඇය සමඟ සිනමාපට විශාල ප්‍රමාණයක රඟ දැක්වූ දිලිප්, මෙම ලිංගික හිංසන සිදුවීමට චූදිතයෙක් වූ අතර ඔහුට එරෙහිව සාපරාධී කුමන්ත්‍රණ චෝදනා ද එල්ල වීය.

තමන්ට එරෙහි චෝදනා දිලිප් ප්‍රතික්ෂේප කළ නමුත් අත්අඩංගුවට පත්වූ ඔහු ඇප මත නිදහස් වීමට පෙර මාස තුනක කාලයක් සිර දඬුවම් වින්දේ ය. මෙම නඩුව මේ වනවිටත් අධිකරණයක විභාග වෙමින් තිබේ.

දකුණු ඉන්දීය සිනමාපට 80කට වැඩි සංඛ්‍යාවක් සඳහා රංගන දායකත්වය සපයා ඇති, සම්මාන රැසක් දිනූ භාවනා මෙනන් සිය ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුමේ ඔස්සේ පළ කර තිබූ පෝස්ටුවක සඳහන් වුණේ "වින්දිතයකුගේ සිට දිවි රැක ගත්තකු දක්වා තමන් පැමිණි ගමන ලෙහෙසි එකක් නොවුණු," බවයි 

"වින්දිතයෙක් විදියට ඉඳලා ගොඩ ආපු කෙනෙක් විදියට මේක ලේසි ගමනක් වුණේ නැහැ. අපරාධය කළේ මම නොවුණත් මට නින්දා කරන්න, නිහඬ කරන්න, මා හුදෙකලා කරන්න උත්සාහ කළා. ඒ වගේ අවස්ථාවලදී මට හයියක් වුණ අය හිටියා. දැන් මං වෙනුවෙන් හඬ නගන්න බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙලා ඉද්දි, යුක්තිය බලාපොරොත්තු වෙන මේ සටනේ මම තනියෙන් නෙවෙයි කියලා මම දන්නවා.”