රී කපූර් ගේ මංගල උළෙල
විලාසිතා නිර්මාණ ශිල්පිනියක හා චිත්රපටි නිෂ්පාදිකාවක වන රී කපූර් ගේ මංගල උළෙල අගෝස්තු 14 දා ජූහු පෙදෙසේ පිහිටි නිවසේදී පැවැත්විණි. ඇය විවාහ වූයේ ඇගේ දිගු කාලීන පෙම්වතා වූ කරන් බූලානි සමඟය. මේ විවාහ මංගලෝත්සවයට සහභාගි වූයේ ඇගේ සමීපතම නෑදැයන් පමණකි. තමාට කවදාත් වුවමනා වූයේ මංගල උත්සවය නිවසේදී පැවැත්වීමට බවත් එය පහසු කිරීම පිළිබඳව ස්තුතිවන්ත වන බවත් ඇය සිය සමාජ ජාලා ගිණුමක සටහන් කර තිබිණි.
ඇය සිය මංගල ඇඳුම වශයෙන් තෝරාගෙන තිබුණේ ඇත් දළ පැහැති ලෙහෙන්ගා විලාසිතාවකි. එයට ගැලපෙන අබරණ තෝරනු ලැබුවේ ඇගේ මව සුනීතා කපූර් විසිනි. ඇය පැළඳ සිටි වේලය මුතුවලින් අලංකාර වූයේය.
“අවුරුදු දොළහකට කලින් නම් මට මෙච්චර බියමුසු බවක්, කැළඹිල්ලක් නොදැනෙන්න ඉඩ තිබුණා.. ඒ කාලේ එයා මගෙ හොඳම යා`ථවා.. ඒ විතරක් නෙමෙයි මම දැනගෙන හිටිය හොඳම පිරිමියා.. ඒත් මේ වෙලාවේ මම ඇඬුවා.. හොඳටම සසල වුණා.. මේ අත්දැකීම මොන වගේ ද කියලා හිතා ගන්න මට බැරි වුණා.. මම ඇත්තටම කීකරු ගෑනු දරුවෙක්.. මොන තරම් කාර්යබහුල වුණත් රෑ 11ට මගේ අම්මයි තාත්තයි නින්දට යන්න ඉස්සර ජූහුවල ගෙදරට එන්නයි මම පුරුදු වෙලා හිටියෙ.. දැන් මට වෙනම පවුලක් විදියට ජීවත් වෙන්න සිද්ද වෙනවා.. ඇත්තටම පවුලක් සමීප වෙන්නෙ ආදරණිය බැඳීම් හින්දා.. මගේ සදාකාලික ආදරණිය පුද්ගලයන් තමයි රන් බූලානි, අනිල් කපූර්, සුනීතා කපූර්, සෝනාම් කපූර්, හර්ෂ් වර්ධන් කපූර්..”
රී කපූර් සටහන් කර තිබිණි.
අනිල් කපූර්ගේත්, සුනීතා කපූර්ගේත් දෙවන දියණිය වන රී සහ කරන් බූලානි එකිනෙකා හැඳිනගෙන තිබුණේ 2009 දීය. එහෙත් ඔවුන් ආදරයෙන් බැඳුණේ 2010 දී අයිෂා චිත්රපටියේ දර්ශන තලයේදීය. එවිට ඇගේ වයස අවුරුදු 21කි. එය රි විසින් නිෂ්පාදනය කරන ලද පළමු චිත්රපටිය වූ අතර එහි සෝනාම් කපූර් ද රඟ පෑවාය. කරන් එහි සහාය අධ්යක්ෂවරයෙකු වශයෙන් වැඩ කළේය. තමා මුල් වරට ආදරය හැඳින ගත්තේ කරන් වෙතින් බැව් රී පවසා තිබිණි.
ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය ඇරඹුණ දිනවල පටන්ම ඔවුන් එකිනෙකාගේ පවුල්වල විශේෂ අවස්ථාවන්ට සහභාගි වෙනු දකින්නට ලැබිණි. එහෙත් හොඳම මිතුරන් මෙන් පෙනී සිටියා මිස විවාහයක් ගැනනම් ඔවුන් කොතැනකවත් සඳහන් කර තිබුණේ නැත. ඔවුන්ගේ විවාහය හදිසියේ සිදු වූවක් ලෙස බොහෝ දෙනා සිතා තිබුණේ එබැවිනි.
මංගල සාදය පැවැත්වුණේත් සමීප ඥාතීන් හා හිතවතුන් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් නිවසේදීමය. සෝනාම් කපූර්, ජාන්වි කපූර්, කුෂි කපූර්, අර්ජුන් කපූර්, අංශුලා කපූර්, සනායා කපූර් ඇතුලු කපූර් පවුලේ බොහෝ දෙනා ඒ අතර සිටියහ. ඔවුන්ගේ වෛවර්ණයෙන් අලංකාර වූ ඇඳුම් මෝස්තර සියලු දෙනාගේම අවධානයට ලක් විණි. ජාන්වී හැඳ සිටියේ ළැම වටා බැඳි පටියක් බඳු අත් හෝ කර නොවූ කෙටි ලා නිල් පාට බ්ලවුසයක් සහ දිලිසෙන සුදු දිග කලිසමකි. ඇය ශ්රීදේවීගේ කපාපු පලුවක් බඳු විණි.
එහෙත් වඩාත් කැපී පෙනුණේ මනාලියගේ පියා වන ජනප්රිය නලු අනිල් කපූර් බැව් බොහෝ දෙනෙක් පැවසුහ. අවුරුදු 64 ක් වීත් ඔහුගේ ආකර්ෂණීය පෙනුම මඳකින් හෝ අඩු වී තිබුණේ නැත.