රූපා දත්තා ‘ගැට කපයි’
බෙංගාලි නිළියක වන රූපා දත්තා 2020 ප්‍රවෘත්ති අතරට පැමිණියේ චිත්‍රපටි නිෂ්පාදක හා අධ්‍යක්ෂ අනුරාග් කාශ්‍යප්ට කළ චෝදනාවක් නිසාය. අනුරාග් කාශ්‍යප් තමාට දුරකථනයෙන් නොමනා පණිවිඩ එවූ බව ඇය කියා තිබිණි. එපමණකින් නොනැවතුණ ඇය ඒ පණිවිඩවල පිටපත් රැගෙන ඒවා ඇගේ ට්විටර් අඩවියට ද මුදා හැර තිබිණි. ඇගේ එහෙත් පසුව අනාවරණය වූයේ රූපා දත්තා විසින් අනුරාග් නම ඇති වෙනත් අයෙකු සමඟ පණිවිඩ හුවමාරු කරගෙන ඇති බවය.
මේ දිනවල පැවැත්වෙන කොල්කටා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී පික් පොකට් ගැසීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූයේ මේ රූපා දත්තාමය. මාධ්‍ය වාර්තාවල සඳහන් වෙන ආකාරයට ඇය පසුම්බියක් කුණු කූඩයට වීසි කරන අන්දම ඒ ආසන්නයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දැක තිබේ. ඔවුහු ඇගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නට පටන් ගත්හ. එහෙත් ඇයට ඔවුන් සෑහීමකට පත් වෙන ආකාරයට පිළිතුරු දෙන්නට නොහැකි වූයේය. ඔවුන් ඇය අත්අඩංගුවට ගෙන ඇගේ අත්බෑගය පරීක්ෂා කර බලද්දී එහි මුදල් පසුම්බි ගණනාවක් තිබී ඇත. ඒවායේ තිබූ මුදල් රුපියල් හැත්තෑ පන්දහසකට ආසන්න බැව් වාර්තාවල දැක්වෙයි.
ඇය රූපා දත්තා බැව් පොලීසිය හැඳින ගත්තේ පසුවය. පොලිස් ස්ථානයට ගෙන ගොස් ප්‍රශ්න කරද්දී තමා පොත් ප්‍රදර්ශනයේ සෙනඟ තෙරපෙන තැන් බලා පික්පොකට් ගැසු බැව් පිළි ගැනීමට ඇයට සිදු විණි. ඇගේ බෑගයේ තිබූ දිනපොතක ඇය සොරකම් කළ මුදල් පිළිබඳ සටහන් තබා තිබිණි. එපමණක් නොව කොල්කටාවේ වැඩිපුර සෙනඟ ගැවසෙන තැන් පිළිබඳ ලැයිස්තුවක් ද ඒ අතර විණි.
“එයාගෙ ඉලක්කගත තැන් තමයි ඒ තියෙන්න ඇත්තෙ..”
පොලීසිය ප්‍රකාශ කළේය.
සාති, ද කම්පෑනියන් වැනි චිත්‍රපටිවල මෙන්ම රූපවාහිනී මාලා නාටකවල ද රූපා දත්තා රඟ පා තිබේ.