පසු ගියදා රීතික් රොෂාන් සිය පෙම්වතිය සබා අසාඩ් සමඟ අතින් අත අල්ලාගෙන ගුවන් තොටුපොල දොරටුවෙන් පිටව එන වීඩියෝවක් අන්තර්ජාලයේ වේගයෙන් සංසරණය වූයේය. නිළියක හා සංගීතඥයෙකු ද වන සබා සමඟ සම්බන්ධයක් ඇතැයි රිතික් මේ වන තෙක්ම ප්‍රසිද්ධියේ පිළි ගෙන නැත. එහෙත් ඔවුන් එකිනෙකා අගය කරමින් පළ කරන පෝස්ටු නිතරම සමාජ ජාලා වෙබ් අඩවි තුළ දැකිය හැකිය. ඔවුන් පෙම් යුවළක් බවට කටකතා පැතිරෙන්නට පටන් ගත්තේ දෙදෙනා රාත්‍රි භෝජනයකට සහභාගි වෙනු පැපරාසියෙකු විසින් දකින ලද දිනයේ සිටය.
රීතික් ගේ පවුලේ සාදයකට ද සබා සහභාගි වී තිබිණි. ඔහුගේ බාප්පා රාජේෂ් රොෂාන් විසින් මෙම සාදයේ ඡායාරූපයක් අන්තර්ජාලයේ පළ කර තිබූ අතර එහි රීතික් ගේ මව පින්කි රොෂාන්, රීතික් ගේ පුතුන් දෙදෙනා සමඟ සබා ද දකින්නට ලැබිණි. රීතික් ගේ හිටපු බිරිඳ සුසේන් සමඟ ද සබා සමීප සබඳතාවක් පවත්වන්නීය.
සබාගේ නියම නම සබා සිං ග්රේවල්ය. ඇය, ඉන්දියාවේ කීර්තිමත් වේදිකා නාට්‍ය ශිල්පියෙකු හා කොමියුනිස්ට් නාට්‍ය රචකයෙකු වන සෆ්දාර් හස්මිගේ ඥාති දියණියයි. ඇය සිය රංගන වෘත්තිය ආරම්භ කළේ සෆ්දාර්ගේ ජන නාට්‍ය කණ්ඩායමට එකතු වෙමිනි. දිල්ලියේ සිටි ඇය මුම්බායි පැමිණ වේදිකා නාට්‍යයක රඟ පෑවාය. ඇය රිදී තිරයට ආවේ ගුරූර් නමැති කෙටි චිත්‍රපටිය හරහාය.
ඇගේ පළමු හින්දි චිත්‍රපටිය ලෙස සඳහන් වන්නේ සෝහා අලි ඛාන්, ඉර්ෆාන්, රාහුල් බෝස් සමඟ රඟ පෑ 2008 දී තිරගත වුණ දිල් කබඩ්ඩි ය. ඇය ජනප්‍රිය ගායිකාවක හා සංගීතවේදිනියක ද වන්නීය. 2012 දී ඇය සංගීතවේදී ඉමාඩ් ෂා සමඟ සංගීත කණ්ඩායමක් ද ආරම්භ කළාය. එය මෑඩ්බෝයි ලෙසින් හැඳින්විණි. ඔවුන් දෙදෙනා අතර පෙම් සබඳතාවක් ද පැවතියත් අවුරුදු හතකට පසු එයට නැවතීමේ තිත වැටිණි. එහෙත් ඔවුන් සංගීත කණ්ඩායමේ කටයුතුවලින් ඈත් වූයේ නැත. ඇය මෑතකදී රොකට් බෝයිස් නම් වෙබ් චිත්‍රපටියේ රඟ පෑවාය.