රාඛි සමරන්න කෝටි ගණන් තෑගි දෙන බොලිවුඩ් අයියලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්දියාවේ රක්ෂාබන්ධන් කියලා උත්සවයක් සමරනවා... ඒ උත්සවය සමරලා වැඩි දවසක් නෑ. රක්ෂාබන්ධන් කියන්නේ තමන්ගේ සහෝදරියන්ව ආරක්ෂා කරලා රැකබලා ගන්නවා කියලා තම සහෝදරියන්ට සහෝදරයන් විසින් දෙන පොරොන්දුවක්. මේ උත්සවය පැවැත්වෙන දවසට සහෝදරිය තම සහෝදරයා වෙනුවෙන් සහෝදරයාගේ සාර්ථකත්වය වෙනුවෙන් තමන් අදහන කුල දේවතාවන් ඉදිරියේ ප්‍රාර්ථනාවන් සිදුකරලා තම සහෝදරයගේ අතේ නූලක් බඳිනවා. ඒ වෙනුවට සහෝදරයන් තම සහෝදරියන්ට ත්‍යාගයක් ලබාදෙනවා. හින්දි සිනමාපටවල ඔබ දැකලා ඇති රාඛි බඳිනවා කියලා කරන උත්සවයක්... රක්ෂාබන්ධන් කියන්නෙත් ඒකම තමයි... ඔබට ඒ උත්සවය ගැන දළ අදහසක් දැන් ලැබෙන්න ඇති... අපි මේ ලිපියෙන් ඒ උත්සවය දවසේ ඔබ ආදරය කරන බොලිවුඩ් තාරකාවන් තම සහෝදරියන්ට දුන් වටිනා ත්‍යාග මොනවද කියලා කියන්නයි හදන්නේ.

සල්මාන් ඛාන්

බොලිවුඩයේ භායිජාන් සල්මාන් ඛාන්ද සැබෑ ජීවිතයේ ඉතාම ආදරණීය සහෝදරයෙක් වන අතර ඔහු තම සහෝදරියන්ට කෙතරම් ආදරෙයිද කියන එක කිසිවෙකුගෙන් සඟවන්න පුළුවන් දෙයක් නෙවෙයි. සල්මාන් සිය සහෝදරියන් දෙදෙනා වන අල්වීරා අග්නිහෝත්‍රී සහ අර්පිතා ඛාන් ශර්මාට තම ජීවිතයෙන් වැඩි කොටසක් වෙන්කරලා තියෙනවා විතරක් නෙවෙයි, ඔහු ඔවුන්ට තෑගිභෝග දෙන්න කෝටි ගණන් විය පැහැදම් කරනවා. අර්පිතා විවාහවන අවස්ථාවේ සල්මාන් ඇයට කෝටි 16ක 3BHK ප්ලේට් එකක් තෑගි කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි පන්වේල්වල ඇති ගොවිපොළ පවා සල්මාන් නම් කරලා තියෙන්නේ අර්පිතාගේ නමිනුයි. සල්මාන් අල්වීරාටද බෙහෙවින් ආදරය කරන අතර ඇයට අපූරැ පේන්ට් හවුස් එකක් තෑගිකොට තියෙනවා.

සෝනු සුද්

තිරයේ වීරයෙක් බව පෙන්නලා සිටි සෝනු සුද් කොවිඩ් ව්‍යසනය වෙලාවේදී සැබෑ ජීවිතයෙත් තමන් වීරයෙක් කියලා ඇස් පනාපිටම ඔප්පුකොට පෙන්නුව කෙනෙක්. සෝනු සුද්ට සහෝදරියන් දෙන්නෙක් සිටිනවා. සෝනුගේ වැඩිමහල් සහෝදරිය මොනිකා සුද් ඇමෙරිකාවේ ජීවත්වන අතර බාල සහෝදරිය මාල්විකා සුද් ඉන්දියාවේ ජීවත් වෙනවා. සෝනු මීට වසර කිහිපයකට කලින් මේ නිවස තෑගි කරලා ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි එහි ඡායාරෑප පළ කරලා තිබුණා.

ආක්ෂය කුමාර්

හැමෝම ප්‍රියකරන වීරයා වන ආක්ෂය කුමාර් ඔහුගේ සහෝදරිය වන අල්කා ගේද ප්‍රියතමයා වන අතර ඇය සමඟ ඔහු හොඳ බැඳීමක් පවත්වාගෙන යමින් ජීවිතයේ හැමදෙයක්ම ඇයත් ඔහුත් බෙදාහදා ගන්නවා. ආක්ෂය අල්කාට බොහෝවිට මිල අධික තෑගි පිරිනමා ඇති අතර ඔහු අල්කාට ලක්ෂ 95ක් වටිනා අවුඩි මෝටර් රථයක් මීට පෙර තෑගි කර ඇති අතර මෙවර රක්ෂා බන්ධන් දිනයේදී ආක්ෂය විසින් අල්කාට ඊටත් වඩා විශේෂ තෑග්ගක් ලබාදී තියෙනවා. ආක්ෂය විසින් ඔහුගේ ඉදිරියේදී තිරගත වීමට නියමිත රක්ෂා බන්ධන නැමති සිනමා පටය ඔහුගේ සහෝදරිය අල්කාගේ නමින් පුදකොට ඇති අතර එම සිනමාපටය පදනම් වී ඇත්තේ සහෝදරයෙක් සහ සහෝදරියක් අතර පවතින සුන්දර සම්බන්ධතාවය මතය.

අභිෂේක් බච්චන්

බච්චන් පවුලේ සැවොම සෑම කෙනෙකුටම ආදර්ශයක් සපයමින් ජීවත් වෙන පවුලකි. අභිෂේක් බච්චන් තම සහෝදරිය ශ්වේතා නන්දා හට බෙහෙවින් ආදරය කරන අතර නානා ප්‍රකාර උත්සවවලදී සහ පවුලේ සැමරීම්වලදී අභිෂේක් සහ ශ්වේතාගේ බැඳීම මිනිසුන්ගේ හදවත දිනාගනී. අභිෂේක් ශ්වේතා හට නිතරම වගේ තෑගි ලබාදෙන අතර ඔහු ශ්වේතාට ඉන්දියානු රැපියල් ලක්ෂ 30ක් වටිනා BMW මෝටර් රථයක්ද තෑගි කළේය.

රන්වීර් සිං

රන්වීර් සිං ද ඔහුගේ සහෝදරිය රිතිකාට බෙහෙවින් සමීප කෙනෙක්. ඔහු තම සහෝදරියට ඇති ආදරය සමාජ මාධ්‍ය හරහා නොපෙන්නුවද ඔහු තමන්ගේ ජීවිතයේ වැඩි ඉඩක් තම සහෝදරියට වෙනුවෙන් වෙන්කර තියෙන කෙනෙක්. රන්වීර් සුඛෝපභෝගී වාහනවලට දැඩි අල්මක් ඇති අයෙක් වන අතර රන්වීර් තම සහෝදරියටද ඉතාම සුඛෝපභෝගී මෝටර් රථයක් තෑගිකොට තියෙනවා. රන්වීර් රිතිකාට ඉන්දියානු රැපියල් කෝටි 1.25ක් වටිනා අවුඩි මෝටර් රථයක් තෑගිකොට තියෙනවා.

රිතික් රෝෂන්

රිතික් රෝෂන් තම සහෝදරිය සුනෛනාට හොඳ සහෝදරයෙක්. සුනෛනා රිතික්ගේ ජීවිතයේ සුවිශේෂී කොටසක් වන අතර ඒ දෙන්නා අතර හොඳ බැඳීමක් පවත්වාගෙන යනවා. රිතික් සුනෛනා සහ ඇයගේ දියණියගේ පූර්ණ වගකීම භාරගෙන තියෙනවා පමණක් නොව සෑම දිනකම වගේ ඇයට මිල අධික තෑගි ලබාදීම සිදු කරනවා.

චන්දන වරාවිටගේ