මලයිකාගේ දරු සුරතල්
මලයිකා අරෝරා සමාජ මාධ්‍ය ජාලා සමඟ සමීප සබඳතා පවත්වන තැනැත්තියකි. තමා පිළිබඳ විවිධ තොරතුරු, වීඩියෝ ඡායාරූප ආදිය ඇය නිරතුරුවම ඒවාට එක් කරන්නීය. මේ මෑතකදි ඇය එලෙස පළ කළ වීඩියෝවක් බොහෝ දෙනෙකුගේ ප්‍රශංසනීය අවධානයට යොමු වූයේය.
රන්වන් පැහැති ඇඳුමකින් සැරසුණ මලයිකා රියැලිටි නැටුම් සංදර්ශනයක විනිසුරු අසුනේ සිටියදී කුඩා ප්‍රේක්ෂකයන් කණ්ඩායමක් ඇය වටා සිටිනු එම වීඩියෝවෙන් දැක්වෙයි. මලයිකා ඒ කණ්ඩායමේ සිටි දැරියකගේ අතින් අල්ලාගෙන සිටියදී තවත් දරුවෙකු ඉදිරියට පැමිණ ඇගේ දෙකම්මුල් මිරිකුවේය. මුලින් මවිතයට පත් වුණත් ඊ ළඟට සුන්දර සිනාවක් පෑ මලයිකා ද ඒ දරුවාගේ කම්මුල් මිරිකා දරුවන් දෙදෙනාම වැළඳ ගන්නීය. ඒ අතරතුර පැමිණෙන තවත් දරුවෙකු කෙරෙහි ද ඇගේ අවධානය යොමු වන්නේය. එය පළ කර හෝරා දෙකතුනක් ගත වෙද්දී ලක්ෂයකටත් අධික සංඛ්‍යාවක් විසින් නරඹනු ලැබ තිබිණි.