බොක්ස් ඔෆීස් ගැන වද නොවන සනායා මල්හෝත්‍රා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සනායා මල්හෝත්‍රා සිනමාවට පිවිසියේ 2016 වසරේදී දාංගාල් චිත්‍රපටියේ බබිතා කුමාරිගේ චරිතය රඟ පාමිනි. සමාජයේ අවමන් විඳගෙන, සිය සිත තුළ තමා පිළිබඳව තිබූ හීනමානය දුරු කරගෙන අංක එකේ මල්ලවපොර ශූරිය දක්වා එන්නට තරම් අධිෂ්ඨානයක් බබිතා තුළ තිබිණි. සැබෑ ජීවිතයේදීත් තමා එබඳු ආත්ම විශ්වාසයක් ඇති තැනැත්තියක බැව් සනායා කියන්නීය. බදායි හෝ, පැග්ලෙයිට් වැනි චිත්‍රපටි තුළින් ඇය පෙන්වන්නේ අභියෝගවලට මුහුණ දෙන්නට ඇය තුළ ඇති හැකියාවය. මෙතෙක් ඇය රඟ පෑවේ ප්‍රධාන නිළියන් දෙතුන් දෙනෙකු සහිත චිත්‍රපටිවලය. තනි වීරවරියක ලෙස ඇය රඟ පාන්නේ පැග්ලෙයිට් චිත්‍රපටියේය. 

“ඇත්තටම දාංගාල් කියන්නෙ සිහිනමය ආරම්භයක්.. මම අද මෙතන ඉන්නෙ ඒ ආරම්භයේ හොඳකම නිසා.. ඒත්  මට මං ගැන විශ්වාසය ගොඩ නඟා ගන්න කාලයක් ගත වුණා.. මම පැග්ලෙයිට් චිත්‍රපටිය බාර ගත්තෙ ඒකෙ නිෂ්පාදක ගුණීත් මොන්ගා,  අධ්‍යක්ෂ උමේෂ් බිස්ට් මං ගැන විශ්වාස කරපු හින්දා.. ආපහු හැරිලා බලනකොට මට හිතෙන්නෙ නිළියක් විදියට මම මේ තරම් දුරට ආවේ ඒ වගේ හොඳ මිනිස්සු මාව තල්ලු කරගෙන ආව හින්දා කියලා.. හැම දේකින්ම මම අලුත් අත්දැකීම් ලබා ගත්තා..”
සනායා කියන්නිය. 

නිර්මාණයක් තුළින් තෘප්තියක් ලබන්නා සේම එය වාණිජ වශයෙන් සාර්ථක වෙනු දැකීම ද නිළියකගේ අපේක්ෂාවය. එහෙත් තමා රඟ පාන චිත්‍රපටි සංඛ්‍යාව හෝ ඒවා බොක්ස් ඔෆීස් වාර්තා බිඳ හෙළමින් ප්‍රදර්ශනය වීම පිළිබඳව තමා කරදර නොවන බැව් සනායා කියන්නීය. 

“මම අදහස් කරන්නෙ මං ඒවා ඉක්මවලා ගිහින් කියලා නෙමෙයි.. මම කරදර වෙන්නෙ මගෙ රඟ පෑම හරියට කරන්න බැරි වෙයි ද, මගෙන් චරිතයට සාධාරණයක් ඉෂ්ට වෙයි ද කියන දේවල් ගැන විතරයි.. බොක්ස් ඔෆිස් වාර්තා කියන්නෙ අමතර දෙයක්.. ඒක මගේ පාලනයෙන් තොරයි..” ඇය පැවසුවාය. 

තමාට නිළියක ලෙස වර්ධනය වෙන්නට ශක්තිය ලැබුණේ  තමාට හමු වූ යහපත් මිනිසුන් තුළින් බැව් සනායාගේ අදහසය. චිත්‍රපටියෙන් චිත්‍රපටියට ඇය අලුත් දෙයක් ඉගෙන ගත්තාය. ඇය තුළ විශ්වාසය ගොඩ නඟන ලද්දේ ඔවුන් විසිනි. 

“ඒ වගේ අය එක්ක වැඩ කරන්න ලැබීම මගෙ වාසනාව..” ඇය කියන්නේ තෘප්තිමත් ලෙසය.