ප්රියංකාගේ දඟ වැඩක්
කලකට පෙර සිමී ගරේවාල් විසින් පවත්වාගෙන යනු ලැබූ ජනප්රිය සංවාදමය වැඩ සටහනකට ඒ කාලයේ ඉතා තරුණ වියේ ප්රියංකා චොප්රා ද සම්බන්ධ වූවාය. මේ වැඩ සටහනේ කොටසක් මෑතකදී සිමී විසින් ඇගේ ඉන්ස්ටග්රෑම් අඩවියට එක් කර තිබූ අතර එය රසිකයන් අතර වේගයෙන් හුවමාරු වී තිබේ.
ඒ දිනවල අභිෂේක් බච්චන් සහ ප්රියංකා රඟ පෑ චිත්රපටියක ප්රචාරක කටයුතු සිදු වෙමින් පැවතිණි. එම නිසාම අභිෂේක් ගැන ප්රියංකා දරන්නේ කුමන අදහසක්දැයි දැන ගන්නට සිමීට වුවමනා වූයේය.
“එයාට පිස්සු..” දඟකාර ප්රියංකා ගත් කටටම කීවාය.
සංවාදය දිගට ඇදී යද්දී ප්රියංකා විසින් අභිෂේක් ගේ ජංගම දුරකථනය සොරකම් කරගෙන ඉන් රාණි මුඛර්ජිට පණිවිඩයක් යවනු ලැබිම පිළිබඳව සිමී කියද්දී ප්රියංකා මවිතයට පත් වූවාය.
“කවුද ඒක කිව්වෙ..?” ප්රියංකා විමසුවේ කුතුහලයෙනි.
“මම ඉතින් ගොඩක් අය අඳුනනවනෙ.. ඒ එක්කෙනෙක් තමයි කිව්වෙ..” සිමී කීවාය.
“ඇත්තටම මෙහෙමයි වුණේ.. ඉස්සර වෙලා අභිෂේක් තමයි මගෙ ෆෝන් එක හොරකම් කරලා ඒක උඩ ඉඳගෙන හිටියෙ.. පස්සෙ එයාට අමතක වෙලා එතනින් නැඟිටලා ගියා.. මමත් ඊට පස්සෙ එයාගෙ ෆෝන් එක හොරකම් කරලා කෙනෙකුට ඒකෙන් මැසේජ් එකක් යැව්වා..” ප්රියංකා කීවේ උස් හඬින් සිනාසෙමිනි.
“ඔව්.. මම දන්නවා.. රාණි මුඛර්ජිටනෙ යැව්වෙ..”
සිමී කියද්දී ප්රියංකා වඩාත් පුදුම වූවාය.
ඇය අභිෂේක්ගේ ජංගම දුරකථනයෙන් රාණිට යැවූ පණිවිඩයේ සඳහන් වූයේ ඇය නැතිව තමාට පාළු බව හා කොහෙද ගිහින් හිටියේ..? යනුවෙනි. ප්රියංකාට සිනාව නතර කර ගන්නට නොහැකි වූයේය.
“ඔයා දන්නව ද රාණි ඒකට අභිෂේක්ට එවලා තියෙන උත්තරේ..?” සිමී ඇසුවාය.
“නෑ මම දන්නෙ නෑ.. ඊට පස්සෙ මට ඒක මතක් වුණේවත් නෑ..” ප්රියංකා පැවසුවාය.
“හායි අබ්.. මොකද ඔයාට වෙලා තියෙන්නෙ..?”
සිමී කීවේ රාණි මුඛර්ජිගේ හ`ඬ අනුකරණය කරමිනි.
දිගින්දිගටම සිනාසෙමින් ප්රියංකා උත්සාහ කළේ සිමීට මේ සිද්ධිය හෙළිදරව් කරන ලද්දේ කවුරු විසින්දැයි දැන ගන්නටය. එහෙත් සිමී පුද්ගලයා හෙළිදරව් කළේ නැත.
“අභීම තමයි ඕක කියන්න ඇත්තෙ..” අවසානයේදී ප්රියංකා අනුමාන කළාය.
අභිෂේක් සහ ඇය බ්ලෆ් මාස්ටර්ස් චිත්රපටියේ රඟ පෑ අතර ඔහු රාණි සමඟ යුවා, බස් ඉත්නා සා කවබ් හෑ චිත්රපටිවල රඟ පා තිබේ. හම්තුම් චිත්රපටියේ ආගන්තුක රඟපෑමකට ද ඔහු සම්බන්ධ වූයේය. ඔවුන් දෙදෙනා රඟ පෑ බන්ටි ඕර් බබ්ලි ජනප්රිය ප්රහසන චිත්රපටියක් වූයේය.